Thursday, September 6, 2012




උතුරට 'කොළ එළි' දල්වන නැගෙනහිර බලය


නිරෝෂන් හැඳලගේ

ප්‍රවේශය

තමිල්නාඩුවේ වේලක්‌කන්නි හි වන්දනාවේ ගිය කතෝලික බැතිමතුන් පිරිසක්‌ රැගත් බස්‌රථ කීපයකට එල්.ටී.ටී.ඊ. හිතවාදී කල්ලි විසින් එල්ල කළ ප්‍රහාරය මේ වන විට ලෝක අවධානයට පත් ප්‍රවෘත්තියකි. ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැමිණෙන කුමන මට්‌ටමේ අයකුට හෝ විරෝධය පෑම එල්.ටී.ටී.ඊ. හිතවාදී කල්ලි පමණක්‌ නොව තමිල්නාඩු දේශපාලන නායකත්වයේ ද පුරුද්දක්‌ බවට දැන් පත් වී ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසකට තමිල්නාඩු ගුවන් හමුදා පුහුණු කඳවුරක දී පුහුණුව ලබා දීමට එරෙහි වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා මධ්‍යම ආණ්‌ඩුවට විරෝධය පෑම හේතුවෙන් එම නිලධාරීන් දිල්ලියට ගෙන්වා පුහුණුව ලබා දීමට ඉන්දීය රජයට සිදු විය. එමෙන්ම ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශවලට ඉන්දියාවේදී කිසිදු පුහුණු කටයුත්තක්‌ සිදු නොකළ යුතු බවට තමිල්නාඩු නායකයන් විසින් දැඩි විරෝධයක්‌ පළකරන ලදී. මේ සම්බන්ධයෙන් සිය ස්‌ථාවරය පළ කළ ඉන්දියාවේ ආරක්‍ෂක ඇමැතිවරයා කියා සිටියේ තමිල්නාඩු විරෝධය කුමක්‌ වුවත් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් සඳහා ඉන්දියාවේදී සිදු කෙරෙන පුහුණු කටයුතු නවතා දමන්නේ නැති බවයි. තමිල්නාඩුව තරහ කරගැනීම කොංග්‍රස්‌ ආණ්‌ඩුවට එතරම් හිතකර තත්ත්වයක්‌ නොවුවත් ශ්‍රී ලංකාව හා පවතින මිත්‍රත්වයට හානියක්‌ කර ගැනීමට ද ඔවුන්ගේ බලාපොරොත්තුවක්‌ නැති බව මෙයින් පැහැදිලි වෙයි.

කෙසේ වුවද මේ දිනවල ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ජීවත්වන නැගෙනහිර පළාත ද ඇතුළත්ව පළාත් තුනක පළාත් සභා මැතිවරණය පැවැත්වෙන හෙයින් දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ දී සිදුකෙරෙන විරෝධතා මැතිවරණය ඉලක්‌ක කරගත්තක්‌ දැයි සිතෙන්නේ නැගෙනහිර පළාත් සභාව තුළ දෙමළ ජනතාව බහුතරයක්‌ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සිය බලය තහවුරු කරගැනීමේ දැඩි උත්සාහයක පසුවන හෙයිනි. දෙමළ ජාතික සන්ධානය මෙන්ම බහුතර මුස්‌ලිම් ඡන්දදායකයන් පිරිසක්‌ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ද නැගෙනහිර පළාත් සභාවේ බලය තහවුරු කර ගැනීමේ දැඩි උත්සාහයක පසුවෙයි.

විසුරුවා හරිනු ලැබූ නැගෙනහිර පළාත් සභාවේ පිල්ලෙයාන්ගේ සභාපතින්වයෙන් යුතුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බලය තහවුරු කරගෙන සිටියේ එක්‌ ආසනයකිනි. නැගෙනහිර එල්.ටී.ටී.ඊ. බලය මුළුමනින්ම බිඳ දමා ජයග්‍රහණයේ උණුසුමත් සමග පැවැති එම නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මැතිවරණයට තරග කළේ නැත. ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට නැගෙනහිර බලය දිනා ගැනීමේ එතරම් ගැටලුවක්‌ පැවැතුණේ නැත. එහෙත් 2012 මැතිවරණය සන්ධානයට එබඳු පහසු ජයග්‍රහණයකට ඉඩ තබතැයි විශ්වාස කළ නොහැක. නැගෙනහිර පළාත සඳහා තරග වදින දේශපාලන පක්‍ෂ සංයුතිය විමසා බලන විට කිසිදු පක්‍ෂයකට තනි ජයග්‍රහණයක්‌ ලැබීමේ අවකාශයක්‌ ලැබේ යෑයි කීමට ද හැකියාවක්‌ නැත. නැගෙනහිර පළාත තුළ මුස්‌ලිම් බහුතරයක්‌ ජීවත් වන නිසා මුස්‌ලිම් කොංග්‍රසය එම ඡන්ද දිනා ගැනීමට අපේක්‍ෂාවක පසු වෙයි. එහෙත් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ බහුතරයක්‌ ලෙසත්, ත්‍රිතුණාමලය දිස්‌ත්‍රික්‌කයේ 1/3 ක පමණ ප්‍රමාණයකුත් දෙමළ ජනතාව ජීවත් වන නිසා දෙමළ ජාතික සන්ධානය එම ඡන්ද දිනා ගැනීමේ අපේක්‍ෂාවක පසුවෙයි. ගියවර මැතිවරණයේ දී ලද ජයග්‍රහණයත් සමඟ ආණ්‌ඩු පක්‍ෂය ද කිසියම් බලාපොරොත්තුවක්‌ තබාගෙන සිටින අතර එක්‌සත් ජාතික පක්‍ෂය උතුරු නැගෙනහිර ප්‍රදේශවල තමන්ගේ සුපුරුදු ඡන්ද පදනම සමඟම ආණ්‌ඩුව කෙරේ වන ජනතා විශ්වාසය පිළිබඳ වන තක්‌සේරුව මත ද නැගෙනහිර පළාත් සභාව තුළ සැලකිය යුතු ආසන ප්‍රමාණයක්‌ දිනා ගැනීමේ බලාපොරොත්තුවක්‌ තබාගෙන සිටී.

වාර්ගික අරගලයේ සීතල යුද්ධය

අප දකින්නට, අසන්නට අකැමැති වුව ද නැගෙනහිර පළාත් සභා මැතිවරණයත් සමඟ තිරය පිටුපස තිබූ වාර්ගික අරගලය දැන් තිරයෙන් ඉදිරියට පැමිණ ඇති බව කාටත් පෙනෙයි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ස්‌ථාවරය පසෙකින් තබා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ දේශපාලන ස්‌ථාවරය විමසා බැලීම වඩාත් යෝග්‍ය යෑයි හැඟෙයි. මන්ද දෙමළ ජාතික සන්ධානය zඋපතින්මZ දෙමළ බලය තහවුරු කෙරෙන පාලන ඒකකයක්‌ බලාපොරොත්තු වන වාර්ගිකත්වය මත පදනම් වූ පක්‍ෂයක්‌ බව අපි දනිමු. ඒත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය හෝ මුස්‌ලිම් ජාතිකයන් නියෝජනය කරන වෙනත් දේශපාලන පක්‍ෂ හෝ කණ්‌ඩායම් මෙවර තරම් කිසිදු අවස්‌ථාවක වර්ගය මත පදනම් වූ පරිපාලන ඒකකයක්‌ මේ රටෙන් බලාපොරොත්තු නොවූ හෙයිනි. ශ්‍රී ලංකාව පුරා සියලුම පළාත්වල දෙමළ ප්‍රජාවටත් වඩා ව්‍යාප්තව ජීවත් වනුයේ මුස්‌ලිම් ප්‍රජාව ය. බොහෝ ප්‍රදේශවල සිංහල ප්‍රජාව සමඟ සහයෝගයෙන් සිය සංස්‌කෘතික හා ආගමික අනන්‍යතාව ආරක්‍ෂා කරගෙන ජීවත් වීමට මේ රටේ මුස්‌ලිම් ප්‍රජාවට හැකි වී ඇතැයි කිවහොත් ඊට විරුද්ධව තර්කයක්‌ ගෙන ආ හැකි කිසිවකුත් සිටිය නොහැක. අගනුවර කේන්ද්‍ර කරගත් වෙළෙඳපළද වැඩි නියෝජනයක්‌ කරන්නේ මුස්‌ලිම් ප්‍රජාව ය.

එල්.ටී.ටී.ඊ. බලය පැවැති සමයේ මුස්‌ලිම් ප්‍රජාවට තිබූ ප්‍රධාන ගැටලුව නම් උතුරු නැගෙනහිර ප්‍රදේශ පසුබිම් කොට ගත් තම ගම්බිම් හැරදමා යන්නට සිදු වීමය. එල්.ටී.ටී.ඊ. ය මන්නාරමෙන් පලවා හැරි මුස්‌ලිම් පවුල් බොහෝ ප්‍රමාණයක්‌ අදටත් පුත්තලම ප්‍රදේශයේ ජීවත් වෙයි. එල්.ටී.ටී.ඊ. ය ඇතුළු බෙදුම්වාදී දෙමළ නායකයන්ට මුස්‌ලිම් ජනතාව අවශ්‍ය වූයේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන බහුතරය පෙන්වා තම නිජබිම් අයිතිය තහවුරු කර ගැනීමට පමණය. 2002 වසරේ පැවැති සාම සාකච්ඡා අතරතුර ඔවුන් ලෝකයට මේ පණිවුඩය ප්‍රබල ලෙස රැගෙන ගියේ ය. එවක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව පැවැති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදා පාලනය කිලෝමීටර ගණනකින් ආපස්‌සට යවන්න සමත් වූ එල්.ටී.ටී.ඊ. ය එක්‌සත් ජාතීන්ගේ සම්මුති ප්‍රකාරව වෙනම පරිපාලන ඒකකයක්‌ පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන අංගයක්‌ ලෙස එකම භාෂාවක්‌ කතා කරන ප්‍රජාවක්‌ සිටින බව පෙන්වීමට මුස්‌ලිම් ප්‍රජාව අතකොළුවක්‌ බවට පත් කර ගත් බව අද මුස්‌ලිම් නායකයන්ට අමතකව තිබීම ද පුදුමයකි. කොහොම වෙතත් නැගෙනහිර පළාත් සභාව සඳහා මුස්‌ලිම් ජාතික මහ ඇමැතිවරයකු පත්කොටගෙන මුස්‌ලිම් ජනතාවගේ අයිතීන් දිනාගත යුතු යෑයි මුස්‌ලිම් කොංග්‍රස්‌ නායකයන් අද දැඩි මතයක සිටින්නේ ඇයි ද යන්න පිළිබඳ විමසා නොබලතොත් එය අඩුවකි.

විසුරුවා හරින ලද නැගෙනහිර පළාත් සභාවේ පාලනයෙන් එම පාලන කලාපයේ ජීවත්වන බහුතර මුස්‌ලිම් ජනතාවගේ ජීවන අවශ්‍යතා ඉටු නොවූ බව මුස්‌ලිම් නායකයන් එල්ල කරන ප්‍රධාන චෝදනාව කි. පළාත් සභාවේ මහ ඇමැතිවරයා දෙමළ ජාතිකත්වය මත පදනම් වූ පුද්ගලයකු වීමත් මේ චෝදනාවට හේතුවක්‌ වුණා යෑයි කීමේ වරදක්‌ ද නැත. ඔහුගේ ක්‍රියාකලාපය ද නැගෙනහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාලනය පිළිබඳ බහුතර මුස්‌ලිම් ප්‍රජාව කලකිරවන්නට හේතු වූ බවටද බොහෝ තොරතුරු වාර්තා විය, කෙසේ වෙතත් අවසාන ඵලය බවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ තවත් කොටසකට තවත් වාර්ගික පදනමක්‌ මත පාලනය කිරීමේ වුවමනාවක්‌ ඇති කිරීම ය.

දෙමළ ජාතික සන්ධානයේ හැසිරීම

දෙමළ ජාතික සන්ධානය ගිය වර නැගෙනහිර පළාත් සභාවට ඉදිරිපත් නොවූ අතර මෙවර ඉදිරිපත් වන්නේ ද උතුර නැගෙනහිර දෙපළාත එක පරිපාලන ඒකකයක්‌ විය යුතුය යන ස්‌ථාවරයේ පිහිටා බව අප දන්නා දේශපාලනය ය. එම පදනමේ සිට ඔවුන්ගේ උත්සාහය වන්නේ නැගෙනහිර පළාතේ බලය තහවුරු කොටගෙන zදෙමළ නිජභූමියZ නමැති නාමකරණයෙන් පමණක්‌ වියුක්‌ත කළ දෙමළ වාර්ගිකත්වය මත පදනම් වූ පරිපාලන කලාපයක්‌ පිහිටුවා ගැනීමය. දෙමළ නිජභූමිය වෙනුවට ඔවුන් මෙය හඳුන්වන්නේ දෙමළ ජනතාව විසින් ම පාලනය කරනු ලබන පාලන ඒකකයක්‌ කියා ය. එසේ වාර්ගිකත්වය ඉස්‌මතු කළ පාලන කලාපයක්‌ තුළ නැගෙනහිර පළාතේ ජීවත් වන බහුතර මුස්‌ලිම් ප්‍රජාවගේ හා අම්පාර, ත්‍රිකුණාමලය බඳු ප්‍රදේශවල ජීවත්වන සිංහල ප්‍රජාවගේ අයිතීන්ට වන්නේ කුමක්‌ද යන්න පිළිබඳ ඔවුන්ට පැහැදිලි විසඳුමක්‌ නැත.

දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණයේ දී ප්‍රධාන සටන් පාඨය බවට පත්කරගෙන තිබෙන්නේ ආණ්‌ඩුව උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා දේශපාලන විසඳුමක්‌ ලබා දීමට තවමත් ප්‍රමාද වීම පිළිබඳවයි. ඒ අතරම තම ජනතාව ජීවත් වන ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත් නොකිරීම, සිංහල කරණය, නැවත පදිංචි කිරීම් ප්‍රමාද කිරීම ආදී චෝදනා මල්ලක්‌ කරේ ලාගෙන දෙමළ සන්ධානය පසුගිය දිනවල මැතිවරණ ප්‍රචාරණයේ නිරත වුණි. තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගොඩනැගෙන එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතාත් මේ මැතිවරණයේ තුරුම්පු ලෙස පාවිච්චි කිරීමට ඔවුන් අකැමැති වුණේ නැත. එල්.ටී.ටී.ඊ. යට එරෙහි යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වූ මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව ශ්‍රී ලංකාවට දඬුවම් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු දේශපාලනය ගෙනයන අතිශය ග්‍රාම්‍ය වූ විරෝධතා ඔස්‌සේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව තුළ තම රටට ම එරෙහිව හඬක්‌ ගොඩ නැඟීමට ඇතැම් දෙමළ නායකයන් ද උත්සාහ දරන බව රහසක්‌ නොවේ. මේ මැතිවරණ සමයේ ඒවා වඩාත් පැහැදිලිව පෙනෙන්නට වී තිබේ.

බලයේ සිටිමින් බලය දිනා ගැනීමේ සටන

නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටු වීම පිළිබඳ ආණ්‌ඩුව ද දැන් පසුවන්නේ පීඩනයක ය. නැගෙනහිර පළාත් සභාව සඳහා ඉදිරිපත්ව සිටින දේශපාලන පක්‍ෂවල ඡන්ද පදනම පිළිබඳ සලකා බලන විට කිසියම් ප්‍රධාන පක්‍ෂයක්‌ තවත් පක්‍ෂයක්‌ සමඟ එක්‌ව පළාත් සභාවේ පාලනයක්‌ පිහිටු වීමේ අවශ්‍යතාව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ගැටලුව ඇත්තේ zදීග කන්නටZ කැමැති වන්නේ කවුද යන්න ය. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන අරමුණු ගෙන බලන කල මුස්‌ලිම් කොංග්‍රසය ඔවුන් හා එක්‌ව නැගෙනහිර පළාතේ ආණ්‌ඩුවක්‌ පිහිටුවාවි යෑයි සිතිය නොහැක. තම පක්‍ෂය ට මහා ඇමැති ධුරය බලාපොරොත්තු වන කොංග්‍රසය ආණ්‌ඩුව හා සමඟ එක්‌ව පාලනයක්‌ පිහිටුවාවි යෑයි ද බලාපොරොත්තු විය නොහැක. එබඳු එකඟතාවක්‌ ඇති වුණි නම් මුස්‌ලිම් කොංග්‍රසය මේ මැතිවරණයට ඉදිරිපත් වන්නේම සන්ධානයේ ඡන්ද සලකුණ යටතේ ය. ආණ්‌ඩුවට ද පිල්ලෙයාන් සාධකය ඉවත් කර බලය පිළිබඳ තීරණයකට එළැඹීමේ හැකියාවක්‌ නැත. මේ නිසා මැතිවරණ ප්‍රතිඵල මත ඇතිවන බල සංයුතිය විසින් නැගෙනහිර පළාත් සභාව පාලනය කරන්නේ කවුරුන් ද යන්න තීන්දු කරනු ඇත.

සමාලෝචනය

නැගෙනහිර පළාත් සභාව සඳහා කුමන හෝ දේශපාලන පක්‍ෂයක්‌ හෝ පක්‍ෂ දෙකක්‌ හෝ කීපයක්‌ එක්‌ව පාලනයක්‌ පිහිටුවුව ද එය උතුරු පළාත් සභාව සඳහා මොනයම් හෝ උත්තේජනයක්‌ කිරීම අනිවාර්ය තත්ත්වයකි. නමුත් පවතින තත්ත්වය මත රට තුළ යළි වාර්ගිකමය බෙදීමක්‌ ඇතිවේදොaයි යන සැකය මතුව තිබේ. එල්.ටී.ටී.ඊ. යේ බෙදුම්වාදී ම්ලේච්ඡ ජන සංහාර ක්‍රියා අවසන්ව රට තුළ දැන් පවතින සාමයිකත්වයට මේ තත්ත්වය එතරම් ගුණදායක වන්නේ නම් නැත.

එහෙයින් තිබුණාටත් වඩා දරුණු ලෙස ගොඩනැගෙන්නට උත්සාහ කරන මෙම වාර්ගික බෙදීම ලත් තැනම ලොප් කිරීමේ වගකීම ඇත්තේ මේ ආණ්‌ඩුවට ය. නැගෙනහිර ඇතුළු මැතිවරණය පැවැත්වෙන අනෙකුත් පළාත් සභා දෙක කල් පිරෙන්නට වසරක පමණ කාලයක්‌ තිබිය දී, විසුරුවා හැරීමට පෙර ආණ්‌ඩුව කළ යුතුව තිබුණේ අඩුම තරමින් යුද්ධයෙන් ලද ජයග්‍රහණය තහවුරු කෙරෙන සුදුසු දේශපාලන විසඳුමක්‌ යෝජනා කරන්නටවත් ආරම්භයක්‌ ගැනීම ය. නමුත් ආණ්‌ඩුව එම වගකීම ගැන බරපතළ ලෙස තැකීමක්‌ කළ බවක්‌ පෙනුණේ නැත. අද නැගෙනහිර බලය දිනා ගැනීමේ අරගලයේ දීද ආණ්‌ඩුවට පාරාවළල්ලක්‌ බවට පත්ව ඇත්තේ එම වගකීමෙන් තොර හැසිරීම ය. ඒත් උතුරට යන්නට පෙර හෝ ආණ්‌ඩුව තමන් බුද්ධිමත් වීමේ වැදගත්කම නොසලකා හැරියහොත් රට හැරෙන දිශාව එතරම් සුබදායක නොවනු ඇත.
divaina-07-09-2012