Sunday, August 26, 2012


වෙන්නේ මොනවාද දන්නේ නැති රටක්‌




                                                                  

                                                                                                                                                                         










නිරෝෂන් හැඳලගේ



ස්‌වාසිලන්ත රජු ශ්‍රී ලංකාවේ කළ සංචාරය ආණ්‌ඩුවට ඒ තරම් ගුණදායක වුණේ නැත. ස්‌වාසිලන්තයත්, එහි රජුත් ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ එක්‌තරා ගෝත්‍රික චාරිත්‍රයක්‌ සම්බන්ධයෙන් වීම ඊට හේතුවයි. එබඳු තත්ත්වයක්‌ පවතිද්දී ජනාධිපතිවරයා කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුqපල වෙතම ගොස්‌ ස්‌වාසි රජු සහ බිරිය පිළිගැනීම කාගේත් කතාබහට ලක්‌ විය. ස්‌වාසි රජු පමණක්‌ නොව ඔහුගේ පියාගේ බිරියන් 350 දෙනා ගැනද තොරතුරු ඇතුළත්ව සතිඅන්ත පුවත්පත්වල පිටු පුරා ලිපි පළවීම මේ තත්ත්වය තවත් උත්සන්න කළේය. ජනමාධ්‍ය හා විපක්‍ෂය ස්‌වාසි රජුගේ සංචාරය පිළිබඳ විවිධ චෝදනා එල්ල කරද්දී මුලදී ස්‌වාසි රාජ්‍යය හා රජු වර්ණනා කරමින් ප්‍රතිඋත්තර බැඳි ඇතැම් මැතිඇමැතිවරු හා රජයේ මාධ්‍ය පසුව රාජ්‍ය නායකයන් අතර ඇතිවන සබඳතා හේතුවෙන් මෙබඳු නිල සංචාර ඇතිවීම සාමාන්‍ය දෙයක්‌ බවට පෙන්වා දීමට උත්සාහ කළහ.

ස්‌වාසිලන්තයෙන් නොව මිනීමස්‌ කන ගෝත්‍රිකයන් තවමත් ජීවත්වන ලෙසතෝ බඳු රාජ්‍යවල රාජ්‍ය නායකයන් වුව ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණිය ද එයින් රටට හානියක්‌ වේ යෑයි අප සිතන්නේ නැත. එහෙත් රාජ්‍ය නායකයන් අතර වන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල දුරස්‌ථ බව හෝ සමීපස්‌ථ බව තීරණය කිරීමට කිසියම් නිර්ණායකයන් ඇත. ස්‌වාසිලන්ත රජුගේ සංචාරයේදී එම සම්ප්‍රදායයන් කොයිතරම් දුරට රැකුණාද යන්න පිළිබඳ කා තුළත් සැකයක්‌ උපදී. වසරකට වරක්‌ අලුතින් බිරියක්‌ තෝරා ගැනීම ස්‌වාසි රජුගේ ව්‍යවස්‌ථාපිත අයිතියක්‌ විය හැක. නමුත් දියුණු සමාජ ක්‍රමවලදී එබඳු ගෝත්‍රික චාරිත්‍රයන් ශිෂ්ට සම්පන්න ලෙස සලකා ගරු කරන්නේ නැත. අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව සියවස්‌වල පටන් යෝනකයන් (මුස්‌ලිම් ජාතිකයන්) සමග සබඳතා පවත්වන සිංහල සමාජය තුළ ඔවුන් සතුවද පවතින එබඳු චාරිත්‍ර අගය කරන්නේ නැත. කෙසේ වුවද ස්‌වාසි රජුගේ මෙරට සංචාරය අප නම් දුටුවේ රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයකට වඩා පෞද්ගලික සබඳතා මත සිදුවූ සංචාරයක්‌ ලෙසය. ගැටලුව ඇත්තේ ස්‌වාසිලන්තය බඳු ගෝත්‍රික රටක නායකයකුට වඩා වැදගත් රාජ්‍ය නායකයන් මෙරටට පැමිණි අවස්‌ථාවලදීවත් අපේ රාජ්‍ය නායකයා ඔවුන් පිළිගැනීම සඳහා ගිය අවස්‌ථා සාපේක්‍ෂව අඩු අගයක්‌ ගැනීමය.

රටවල් දෙකක්‌ අතර ද්වීපාර්ශ්වීය සබඳතා පැවැත්වීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. එහිදී අදාළ රටවල නායකයන්ගේ ජනප්‍රිය භාවයත්, ඔවුන් අතර වන සබඳතාත් බොහෝ විට ඉවහල් වෙයි. එහෙත් අපේ රටට විවිධ රටවල රාජ්‍ය නායකයන් පැමිණි අවස්‌ථාවලදීත් මෙරට රාජ්‍ය නායකයා විදේශ රටවල නිල සංචාරවල නියෑලි අවස්‌ථාවලදීත් විවිධ ව්‍යාපෘති සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කළ ද ඒවායින් මේ රටට ලැබුණු ප්‍රතිලාභ ඇත්තේ අල්පයක්‌ පමණක්‌ වීමය. අනෙක්‌ අතට රටක ආණ්‌ඩුවක්‌ බොහෝ විට උත්සාහ ගන්නේ තම රටට වඩාත් ප්‍රතිඵලදායක විය හැකි මට්‌ටමේ රටවල් හා රාජ්‍ය නායකයන් සමග සබඳතා ඇතිකර ගැනීමටය. නමුත් මේ ආණ්‌ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තුළ එබඳු උපක්‍රමශීලී බවක්‌ ඇතැයි දැකිය නොහැක. ඊට හොඳම උදාහරණය නම් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහිදී යෝජනාවක්‌ සම්මත වීමය. එහිදී සිදු වූ අතපසු වීමේදී හෝ රටට වඩාත් ප්‍රතිඵලදායක විදේශ සබඳතා ඇතිකර ගැනීමට ආණ්‌ඩුවට දැක්‌මක්‌ තිබිය යුතුය. යුද්ධය අවසන් කර රට සංවර්ධනයේ සිහින සැබෑ කරගැනීමට බලා සිටින මෙබඳු මොහොතක විදේශ ප්‍රතිපත්තිය මීට වඩා කළමනාකරණය කිරීමට තරම් ආණ්‌ඩුවට ඉදිරිය දැකීමේ හැකියාවක්‌ තිබිය යුතුය.

රට එබඳු නිවැරැදි මාර්ගයකට ගත හැක්‌කේ ආණ්‌ඩුව කරන්නේ මොනවාද, නායකයන් කරන්නේ මොනවාද යන්න පිළිබඳ රට තුළ කිසියම් සංවාදයක්‌ ගොඩනැගිය හැකි නම් පමණය. එහෙත් ජනතාව තබා විපක්‍ෂයවත් ආණ්‌ඩුව කරන්නේ මොනවාද කියා දන්නේදැයි අපට සැකයක්‌ ඇත. අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ දැනට පවතින අර්බුද මෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මේ වන විට පවතින අවුල් වියවුල් වලින් පැහැදිලි වන්නේ ආණ්‌ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ ගැන ආණ්‌ඩුව ඇතුලේ ඉන්නා අයම දන්නේ නැති බවය. දූෂිත හෙජිං ගනුදෙනුව, බාල ඉන්ධන ගෙන්වීම ආදිය එබඳු අර්බුද පුපුරා ගිය අවස්‌ථාය. මෙබඳු දූෂිත ගනුදෙනු නිසා රටට සිදුවන අලාභය පියවා ගැනීමට ස්‌වාසිලන්තය බඳු ගෝත්‍රික රාජ්‍යයන් සමඟÊපවත්වන සබඳතාවලින් යහපත් වේ යෑයි අපට තර්ක කළ හැකි ද?

කොහොම වෙතත් ස්‌වාසිලන්ත රජු ගුවන්තොටුපළටම ගොස්‌ පිළිගෙන කැඳවාගෙන ඒමේ සිද්ධිය පිළිබඳව වටින් පිටින් ගල් මුල් එල්ල වෙද්දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මහත් අස්‌වැසිල්ලක්‌ වූයේ ඉන්දියාවේ කපිලවස්‌තුපුර සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේලා පිළිගැනීමට ද ගුවන් තොටුපළ වෙත යැම ය. ස්‌වාසිලන්ත රජු පිළිගැනීමට යැම හා ඔහුගේ ගෝත්‍රික චාරිත්‍රවලට එල්ල කළ ගල්මුල් බඳු ප්‍රහාර සර්වඥධාතූන් වහන්සේ පිළිගෙන වැඩම කරවීමට යැම සම්බන්ධයෙන් එල්ල කිරීමට කිසිවකුටත් නොහැක. එහෙයින් ස්‌වාසිලන්ත රජුගේ සංචාරය පිළිබඳ චෝදනා උච්චතම අවස්‌ථාවට පැමිණීමට පෙර සර්වඥධාතූන් වැඩම කරවීම ආණ්‌ඩුවේ යහපතට හේතු වූ බව නම් කිව යුතුය.

කෙසේ වෙතත් සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවා රටවටා සංචාරය කරවන්නේ එළැඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කරගෙන යෑයි ඇතැමුන් චෝදනා කරයි. පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කිරීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාව බඳු බෞද්ධ පුනරුදයකින් පිබිදුණු රටකට ගෞතම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වැඩම කරවීම. ආගමිකව මෙන්ම ඓතිහාසිකවත් අතිශය වැදගත් අවස්‌ථාවක්‌ ලෙස සැලකීමට දෙවරක්‌ සිතිය යුතු නැත. ඒත් පෙර කී පරිදි එල්ල වන චෝදනාව ඇත්තක්‌ දැයි සිතෙන්නේ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන ස්‌ථාන ගැන සලකා බලන කලය. පැල්මඩුල්ලේදී පැවැත්වෙන ප්‍රදර්ශනයෙන් අනතුරුව ධාතූන් වහන්සේ වැඩම කරවන්නේ අනුරාධපුරයටය. එයින් පසු ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කන්තලේදී ය. පැල්මඩුල්ල යනු සබරගමුව පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත්, අනුරාධපුර යනු උතුරු මැද පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත්, කන්තලේ යනු නැගෙනහිර පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත් අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. ඒ වගේම සබරගමුව, උතුරු මැද සහ නැඟෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා මේ වන විට දින නියම කර ඇති බව ද ජනතාවට තෝරා බේරා දිය යුතු නොවේ. ධාතු ප්‍රදර්ශනය කැලණියේ පවත්වා පැල්මඩුල්ලට ගෙන යැම බස්‌නාහිර පළාතට ළඟම පළාතක්‌ ලෙස ගැටලුවක්‌ නැත. නමුත් වයඹ හා මධ්‍යම පළාත් මඟහැර සර්වඥ ධාතුන් වහන්සේ අනුරාධපුරයට වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ හා එතැනින් කන්තලේට වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ කිසියම් යටි අරමුණක්‌ නැතැයි කියන්නට ද හැකියාවක්‌ නොවේ. ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ රාජ්‍ය මාධ්‍යයට ඇස්‌කන් යොමු කළහොත් මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන කාලය තුළ අදාළ පළාත් සභාවලට අයත් ප්‍රදේශවල මෙබඳු ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමේ සද්භාවය පිළිබඳ අපට නම් යම් යම් ගැටලු මතුවෙයි.

එක්‌ අතකට මැතිවරණය පැවැත්වෙන පළාත්වලට අයත් ප්‍රදේශවල බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය කොට ජනතාවට ඉන් ආශිර්වාද ලබා ගැනීමට අවස්‌ථාව සැලසීම හොඳ යෑයිද අපට සිතේ. මන්ද මෙම පළාත් සභාවලට පත්වන දේශපාලකයන්ගෙන් කිසිදු පිහිටක්‌ නොලැබෙන එම ප්‍රදේශවල ජනතාවට මෙබඳු ආශිර්වාදයක්‌ හෝ ලැබීම දුකසේ ගෙවන ජීවිතයට යම් අස්‌වැසිල්ලක්‌ වන හෙයිsනි.

කොහොම වෙතත් මේ රටේ ජනතාව ධාතු වන්දනා කරන අතරතුර "දේශපාලන වන්දනා" ගැනද අවධානයෙන් සිටිය යුතුය. මේ වන විට පැවැත් වූ උසස්‌ පෙළ විභාග හා පැවැත්වෙන උසස්‌ පෙළ විභාග සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදීමෙන් ද රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය අර්බුදයකට පත්කර තිබෙන මොහොතක ආණ්‌ඩුවේ ලකුණු කැපී යැම් මගහරවා ගැනීමට කළහැකි ඕනෑම දෙයක්‌ කිරීමට ආණ්‌ඩුව සූදානම්ය. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය තරමටවත් ආණ්‌ඩුවට දැනෙන විරෝධයක්‌ පෑමට අසමත් විපක්‍ෂය ආණ්‌ඩුවේ ඒ උත්සාහයන්ට මුක්‌කු ගසමින් සිටී. නමුත් මේ රටේ ජනතාව තමන්ගේ පරමාධිපත්‍යයේ බලය පෙන්වීමට අවස්‌ථාව ලැබී ඇති මේ මොහොතේ රට යන්නේ නිවැරැදි මඟක නොවන බව ආණ්‌ඩුවට සංඥ කිරීමට සූදානම් විය යුතුය. ඒ සඳහා හොඳම අවස්‌ථාව දැන් එළැඹ ඇත්තේ සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල ජනතාවට ය. සර්වඥ ධාතුන් වහන්සේලාගේ ද ආශිර්වාද ලැබ සම්මා සතියෙන් යුතුව ඡන්දය පාවිච්චි කළහොත් රටේ අනාගතය වෙනස්‌ කළ හැකි බව ඔවුන් පහදාගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

divaina/24-08-12

Wednesday, August 22, 2012













VIP පාස්‌ නැති ධාතු වන්දනාවේ සංවේගය හා 

නිදහස්‌ අධ්‍යාපනයේ අවසානය



මාස තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ සරසවි ආචාර්යවරුන්ගේ යෝජනාවලට විසඳුමක්‌ දීමට අසමත්වූ ආණ්‌ඩුව හිරිකිතයක්‌ නැතිව සරසවි වසා දැමුවේය. මෙසේ සරසවි වසා දැමීමෙන් කාරණා දෙකක්‌ හෙළිදරව් වන බව නිරෝධගේ අදහසයි. එකක්‌ නම් ආචාර්ය වර්ජනය නිසා සරසවි අධ්‍යයන කටයුතුවලට කිසිදු බාධාවක්‌ සිදුවී නැතැයි මාධ්‍ය සාකච්ඡා පවත්වා වහසි බස්‌ දෙඩූ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ තිරිංග නැති වචන, කටමැත දෙඩවීමක්‌ බව තවදුරටත් ඔප්පුවීම ය. අනෙක නම් ආචාර්ය වර්ජනයේ යථාර්ථයට මුහුණ දීමට අසමත් මේ ආණ්‌ඩුව උත්සාහ ගන්නේ සරසවි වසා දමා, ඒවා වසා දමන්නට සිදු වූයේ ආචාර්යවරුන් ගේ වර්ජනය හේතුවෙන් බව ජනතාවට ඒත්තු ගැන්වීමට ය. ජනතාවද මේවා යම්තාක්‌ දුරට විශ්වාස කරනවාදැයි නිරෝධට සැකයක්‌ තිබේ. මන්ද ප්‍රමිතියෙන් බාල ඉන්ධන නිසා වාහන අතරමඟ නැවතීමෙන් ඇතිවන පීඩාව බඳු පීඩාවක්‌ සරසවි ආචාර්ය වර්ජනය නිසා ජනතාවට දැනෙන්නේ නැත. දිනකට පැය තුනක්‌ විදුලිය විසන්ධි කිරීම නිසා එදිනෙදා කටයුතුවලට සිදුවන බාධා වැනි බාධා සරසවි වර්ජනය නිසා ජනතාවට ඇතිවන්නේ නැත. සර්වඥ ධාතූන් වඳින්නට ගොස්‌ පැය ගණන් පෝලිම්වල පොරකෑවද ආපසු හැරී එන්නට සිදුවන විට වී. අයි. පී. (VIP) පාස්‌වලින් වරප්‍රසාද ලද්දොa ධාතු වන්දනා කරද්දී ඇතිවන සංවේගය බඳු සංවේගයක්‌ සරසවි වර්ජනය නිසා ජනතාවට ඇතිවන්නේ නැත. මේ නිසා මාස තුනක්‌ නොව අවුරුද්ද පුරා සරසවි ආචාර්යවරු වැඩවර්ජනය කළද මේ රටේ ජනතාවගේ ඇස්‌ අරවන්නට නොහැකි වුණත් නිරෝධ පුදුම වන්නේ නැත. ඒත් රට විනාශයට ඇද දැමීමේ අංකුර රෝපණය කරන දේශපාලන කැණහිලුන් නිදහස්‌ අධ්‍යාපන අයිතියටත් අධ්‍යාපනයේ ප්‍රමිතියටත් මේ කරන හානිය නිසා අනාගතයේ රට අනතුරේ වැටුණු පසු සර්වඥධාතු වැඳගැනීමට නොහැකි වුණු නිසා ඇතිවූ සංවේගයටත් වඩා සංවේගයකින් සුසුම් හෙළන්නට මේ රටේ ජනතාවට සිදුවන බව නම් නිරෝධට ස්‌ථීරවම කිව හැක.

මේ ආණ්‌ඩුවේ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පැහැදිලිවම පෙනී සිටින්නේ උසස්‌ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වෙනුවෙන් බව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීමෙන් හා ප්‍රකාශවලින් හොඳින්ම පැහැදිලි වෙයි. ඇමැතිවරයාගේ එබඳු නින්දිත උත්සාහයන් ප්‍රසිද්ධියේ විවේචනය වෙද්දී තමන්ගේ ආත්ම ගෞරවයත් උසස්‌ අධ්‍යාපන ඇමැති තනතුරේ ගෞරවයත් නොකෙලසා ඔහු ඉල්ලා අස්‌ නොවෙන්නේ ඔහුගේ ලඡ්ජාව නමැති නහරය ඉවත් කර ඇති නිසාදොaයි නිරෝධට සැක සිතෙයි. අනේ ෘ ඇමැතිතුමා එබඳු කරදරයක වැටිලා නම් ඔහු ඉවත් කිරීමට වෙනකකු මැදිහත් නොවන්නේ නම් මේ ආණ්‌ඩුවේ සියල්ලන්ගේම ලඡ්ජා නහරය උපතින්ම පිහිටා නැතිදොaයි නිරෝධ සංවේගයට පත් වෙයි. 

සරසවි ආචාර්යවරුන්ගේ යෝජනාවලට කිසිදු සෘජු ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට ආණ්‌ඩුව උනන්දු නොවන්නේ "උඹලාටම එපා වුණු දවසක ඕක නවත්තපියව්" කියන්නා සේය. එහෙත් තමන්ගේ අරමුණු වෙනුවෙන් තෙමසකටත් ආසන්න කාලයක්‌ පුරා එකාවන්ව එක අරමුණකින් සිටිමින් සෘජුව කටයුතු කිරීම පිළිබඳ නිරෝධ සරසවි ආචාර්යවරුන්ගේ සංගමයට ශීර්ෂ ප්‍රණාමය පුද කරයි. 

හෙජිං බඳු දූෂිත දේශපාලනික ගනුදෙනු නිසා නඩු කියන්නටත් වන්දි ගෙවන්නටත් කෝටි ප්‍රකෝටි ගණනින් මහා භාණ්‌ඩාගාරයට මුදල් ඇතැයි කියන ආණ්‌ඩුව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන ඉහළ දමන්නට මුදල් නැතැයි කියන්නේ අනිවාර්යයෙන් ම ලඡ්ජාව නමැති නහරය නැති නිසා බව නිරෝධට නම් දැන් පැහැදිලි ය. නමුත් විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය කරන්නැයි ආචාර්යවරුන් විසින් කරනු ලබන ඉල්ලීමට ආණ්‌ඩුව (විශේෂයෙන් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා) භය වී ඇති සැටි දකින විට කිසියම් ලඡ්ජාවකුත් තියෙන බවක්‌ නිරෝධට සිතෙයි. මන්ද විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය වී ස්‌වාධීන ආයතනයක්‌ ලෙස ගොඩනැඟුනහොත් තමන්ගේ ඔළු ඇතුළෙ කිසිවක්‌ නැති බව රටට හෙළිදරව් වන බව මේ දේශපාලකයන් හොඳින්ම දනී. එහෙයින් තමන්ට පාලනය කළ හැකි පිරිසක්‌ විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීමේ අරගලය මොවුන් අතහරිතැයි සිතිය නොහැක. 

විශ්වවිද්‍යාලයක උපකුලපති ධුරය සෘජු දේශපාලනික මැදිහත්වීමකින් පත් කෙරෙන්නකි. ඒ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. ජනාධිපතිවරයා පත්කරන්නේ තමන්ට බැගෑපත් පුද්ගලයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ ජනාධිපතිවරයාට පක්‍ෂපාත උපකුලපතිවරයා විසින් අධ්‍යයනාංශ ප්‍රධානීන් පත් කරයි. ඔවුන් උපකුලපතිවරයා ගේ හිත දිනාගන්නා පිරිසකි. ඔවුන් විසින් පත් කරනු ලබන පීඨාධිපතිවරුන් ගැනද තවදුරටත් පැහැදිලි කළ යුතු නොවේ. මේ අනුව විශ්වවිද්‍යාල ධුරාවලිය දේශපාලනයට සම්බන්ධ වී ඇති අයුරු වටහා ගත හැක. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය බඳු විශ්වවිද්‍යාලවල පරිපාලනය සම්බන්ධයෙන් පසුගිය දිනවල අප කවුරුත් ඇසූ දූටු දේවලින් මේ කාරණා වටහාගත හැකි බව නිරෝධගේ අදහසයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම්වල වලංගුභාවය සම්බන්ධයෙන් "දිවයින" පුවත්පතින්ම කොයිතරම් හෙළිදරව් කිරීම් කළ ද යළිත් එම පුද්ගලයාම උපකුලපති ධුරයට පත් කිරීමෙන් විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය වී ඇති අයුරු මොනවට පැහැදිලි වෙයි. 

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්‌ඩලය සඳහා බොහෝ විට බඳවා ගැනීම් කරනුයේ තාවකාලික පදනමින්ය. එසේ සිදු කෙරෙන බඳවා ගැනීම්වලින් වැඩි පිරිසක්‌ මැති ඇමැතිවරුන්ගේ හෙංචයියන් ය. මෙසේ තිබිය දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්‍ෂක මණ්‌ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකු ද පත් කිරීමට යෝජනා කරමින් ආණ්‌ඩුව අලුත්ම චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත. මීට පෙර ද ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් අදාළ තෝරා ගැනීම් සඳහා සහභාගි නොවුණා නොවේ. ඒත් ආචාර්යවරුන් තෝරා ගැනීමේදී සෘජු බලපෑමක්‌ කිරීමට එම නිලධාරීන් ට හැකියාවක්‌ තිබුණේ නැත. නමුත් 2012-08-06 දාතමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු විශ්වවිද්‍යාල වෙත නිකුත් කර ඇති චක්‍රලේඛ අංක-991න් අණ කර සිටින්නේ අධ්‍යනාංශ ප්‍රධාන හා පීඨාධිපති කෙබඳු මතයක්‌ දැරුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කළ නිලධාරීන් දෙදෙනාගේ එකඟතාව නැති නම් තෝරා ගැනීම් කළ නොහැකි බවයි. ඒ බව මෙසේ සඳහන් වෙයි. උපුටා ගැනීම .....Should agree with the selection to be made. In case,, both members are not in agreement with the Selection, such apoinment should not be recommended by the Selection Committee. උපුටා ගැනීම අවසන්. මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ සරසවි ආචාර්යවරුන්ගේ සංගමයේ වර්ජනය අතරතුර වීම කාගේත් අවධානයට ලක්‌ විය යුතුය. මෙය කොයිතරම් සදාචාර සම්පන්න ද යන්න විමසා බලන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ගෙන් හෝ ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින්නට බැරිය. මන්ද ඒ ඇමැතිවරයාට හෝ ආණ්‌ඩුවට සදාචාරයක්‌ තිබේ නම් මෙබඳු යෝජනා ගෙන එන්නේ නැත. 

මෙහි දේශපාලන අරමුණු දෙකක්‌ නිරෝධට පැහැදිලි වෙයි. එකක්‌ නම් තමන්ගේ අල්ලේ නැටවිය හැකි පමණට විශ්වවිද්‍යාල පද්ධතිය සකසා ගැනීමය. අනෙක මේ ආණ්‌ඩුව දත නියවා සිටින උසස්‌ අධ්‍යාපනය වෙළෙඳපොළක්‌ බවට පත් කිරීමේ අරමුණුවලට විශ්වවිද්‍යාලය ඇතුළෙන් එන බාධා මගහරවාලීමය. එනිසා නිරෝධ යළිත් සිහිපත් කරන්නේ සර්වඥධාතු වන්දනාවට ගොස්‌ VIP පාස්‌ නැතිව ආපසු හැරී එද්දී ඇතිවූ සංවේගය රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයට සිදුවෙමින් පවතින විනාශය සම්බන්ධයෙන්ද ජනතාවට දැන් ඇතිවිය යුතු බව ය. 

Watamadala/23-08-2012

Tuesday, August 7, 2012


දයාසිරියාගමනය හා දේශපාලනයේ මහත්තුරු!


නිරෝෂන් හැඳලගේ

නිමිත්ත

බොහෝ දෙනෙක්‌ බලාපොරොත්තු වුණු පරිදි දයාසිරි ජයසේකරගේ ආණ්‌ඩු පක්‍ෂ ආගමනය සිදු වුණේ නැත. ඒ වෙනුවට වුණේ දයාසිරි මල්වතු මහා නාහිමියන් බැහැදැක පක්‍ෂය දමා නොයන බවට සපථ කර පොරොන්දු වීමය. ඒත් දයාසිරි හෙට ආණ්‌ඩුවට එකතු වෙයිද, එහෙම නැත්නම් එජාපයේ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආණ්‌ඩුවට එකතු වෙයිද කියන බලාපොරොත්තුව නම් කා තුළත් ඇති බව බොරුවක්‌ නොවේ. කාටවුණත් එහෙම හිතෙන එක සාධාරණය. මොකද විපක්‌ෂ මන්ත්‍රීවරු මේ තරම් ප්‍රමාණයක්‌ ආණ්‌ඩු පක්‌ෂයට ගිය තත්ත්වයක්‌ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තවත් නම් නැති තරම්ය. අනෙක්‌ අතට දයාසිරිට පක්‌ෂය දමා යැමටත් පක්‌ෂය එපා වීමටත් ඕනෑ තරම් හේතු තිබේ. ඔහුගේ ආණ්‌ඩු පක්‌ෂ ආගමනය පිළිබඳ කසුකුසුව තවදුරටත් බොරු යෑයි කියා හිතන්නට කිසිවකුත් සූදානම් නැත්තේද ඒ නිසාය. එක්‌ අතකට තමන් පක්‌ෂය දමා යන්නේ නැතිනම් දයාසිරි ඒ බව කියා දිවුරා පොරොන්දු විය යුත්තේ පක්‌ෂ නායකත්වය ඉදිරියේය. ඒත් දයාසිරි ඒ පොරොන්දුව දුන්නේ මල්වතු මහා නාහිමියන්ටය. ඒ නිසා ද දයාසිරි ආණ්‌ඩුවට හේත්තු නොවේය යන්න එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ටද තවදුරටත් සැකයක්‌ම පමණි.

කොහොම වුණත් මල්වතු මහා නාහිමියන් බැහැ දුටු දයාසිරි කියා සිටියේ "මම පක්‍ෂය දාලා යන්නේ නැහැ. ඇතැම් මාධ්‍ය මාව එජාපයෙන් යවන්න උත්සාහ කරනවා" කියාය. ("දිවයින" - 2012 ජූලි 29 දා) පසුගිය ඉරිදා පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දෙමින්ද දයාසිරි චෝදනා කර සිටියේ තමන් ආණ්‌ඩුවට යෑවීමට වුවමනාව ඇත්තේ ඇතැම් මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට බවය. හැබැයි තමන්ට ආණ්‌ඩු පක්‌ෂයෙන් ආරාධනා ලැබෙන බවද මල්වතු නාහිමියන්ට කියා සිටින්නට දයාසිරි අමතක කළේ නැත. පක්‌ෂ නායකත්වය ගන්නා ඇතැම් ඒකාධිපති තීන්දු තීරණවලට විරුද්ධව තමන් කිසියම් දේශපාලනික තීන්දුවක්‌ ගන්නා බවද දයාසිරි මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි. පක්‌ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දයාසිරි කතා කළ පළමු අවස්‌ථාව මෙය නොවේ. දිගින් දිගටම එජාපය ලබන මැතිවරණ පරාජයන් හමුවේ දයාසිරිට මෙන්ම තවත් තරුණ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකටද පක්‌ෂයේ ප්‍රතිපත්ති හා නායකත්වය පිළිබඳ ගැටලු පැවැතුණි. පක්‌ෂ නායකත්වය වසර හයක්‌ යන තුරු වෙනස්‌ නොකිරීමට එක්‌සත් ජාතික පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය හදිසියේ ගත් තීන්දුවත් සමග පක්‌ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කරන දයාසිරි ඇතුළු පිරිස තුළ තවදුරටත් ඇති කළේ කලකිරීමක්‌ම පමණය. එහෙත් කැරැලිකරුවන් බොහෝ දෙනකු කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් නොවන නිසා එබඳු තීන්දුවලට බලපෑම් කිරීමේ හැකියාවක්‌ ද නැත. මේ නිසා එජාපයේ තරුණ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු සිටිනුයේ "මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වැනි තත්ත්වයකය.

2001 දී එක්‌සත් ජාතික පක්‌ෂයට එක්‌වන දයාසිරි ජයසේකර 2004 දී කුරුණෑගල ආසන සංවිධායකවරයා ලෙස පක්‌ෂය සංවිධානය කරමින් එම වසරේ මැතිවරණයේ දී මනාප ඡන්ද 52457 ක්‌ ලබා පාර්ලිමේන්තුවට පැමිණියේය. නීතිඥවරයකුද වන දයාසිරි පාර්ලිමේන්තුව තුළ දක්‌ෂ කථිකයකු ලෙස කා අතරත් ජනප්‍රියත්වය දිනාගෙන සිටී. පාර්ලිමේන්තුව තුළදී ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රීවරුන් ප්‍රකෝප වන්නේ සියලු තොරතුරුවලින් සන්නද්ධව දයාසිරි එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීගත නොහැකි වූ අවස්‌ථාවලය. දයාසිරිගේ මුඛරිකම නිසා ආණ්‌ඩු පක්‌ෂ මැති ඇමැතිවරුන් අපහසුතාවට පත්වන අවස්‌ථා අනන්තය. හම්බන්තොට වරාය පතුලේ විශාල ගලක්‌ ඇති බවට වරෙක දයාසිරි ආණ්‌ඩුවට එල්ල කළ ප්‍රශ්නයකදී විෂය භාර ඇමැතිවරයා කටඋත්තර නැති තත්ත්වයට පත්වූ අවස්‌ථා සිහිපත් වෙයි. දයාසිරි බොහෝ අවස්‌ථාවල ආණ්‌ඩුවේ රෙදි ගැලවූවා කීවොත් වඩාත් නිවැරැදිය.

පාර්ලිමේන්තුව තුළ සිටින මේ කරදරකාරයාගේ කට වසා දැමීමට ආණ්‌ඩුවට ඇති වුවමනාව ගැන ආයේ දෙවරක්‌ සිතිය යුතු නැත. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව සතුව ඉතා හොඳ ප්‍රතිඵල අත්කර දුන් මන්දක්‌ (උගුලක්‌) ඇත. ජනතා විමුක්‌ති පෙරමුණේ සිටි විමල් වීරවංශ බඳු කටකාරයන්ගේ කටවල් වසා දැමීමෙන් මේ මන්ද සාර්ථක බව ඔප්පු කර ඇත. එනම් ආණ්‌ඩු පක්‌ෂයට ආරාධනා කර ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති තනතුරක්‌, එහෙමත් නැත්නම් අධීක්‌ෂණ ඇමැති තනතුරක්‌ හෝ ලබාදීමය. ආණ්‌ඩුවෙන් තමන්ට ආරාධනා කරන බව දයාසිරි කියන්නේ මෙන්න මේ මන්ද දැන් ක්‍රියාත්මක වෙන්නට පටන්ගෙන ඇති නිසාය. මේ කට ආණ්‌ඩුවට ලැබුණොත් කටමැත දොඩවන ආණ්‌ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට වඩා ප්‍රයෝජනයක්‌ ගත හැකි බව ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද හොඳින්ම දන්නා නිසාද දයාසිරිට ඉල්ලුම වැඩිය.

දේශපාලනයේ මහත්තුරු හා මහත්මා දේශපාලනය

දයාසිරි ජයසේකර එක්‌තරා ව්‍යාපාරිකයකු සමග අරලියගහ මන්දිරයට ගොස්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමග සාකච්ඡා කළ බවත්, ඉදිරියේ දී ආණ්‌ඩු පක්‌ෂයෙන් වයඹ පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා තරග කිරීමට යන බවත් ආදී විවිධ වාර්තා පුවත්පත්වල පළවිය. ජනාධිපතිවරයා හමුවීම හෝ වයඹ පළාත් මහ ඇමැති ධුරයට ආණ්‌ඩු පක්‌ෂයෙන් ඉදිරිපත් වීම කෙසේ වුවත් දයාසිරි ආණ්‌ඩු පක්‌ෂයට ගොස්‌ නියෝජ්‍ය ඇමැති ධුරය ලබා ගන්නට යනවා ය යන කතාබහ නම් කවුරුත් විශ්වාස කළේය. ඒ දයාසිරි එබඳු දේශපාලකයකු ලෙස නම්දරා සිටීම නිසා නොව විපක්‌ෂ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට තරම් ලඡ්ජාසහගත දේශපාලනයක ආණ්‌ඩුව නිරත වන බව කාලයක්‌ තිස්‌සේ සිදුවන සිදුවීම්වලින් කවුරුත් දන්නා නිසාය. ආණ්‌ඩුව මේ වැඩේට කොයිතරම් ඇබ්බැහි වෙලාද කියතොත් රටක දේශපාලනයේ උත්තරීතර සම්ප්‍රදායයන් අමු අමුවේ උල්ලංඝනය කරන්නේ යහපාලනය බල්ලට දමාය. නමුත් ඊනියා දේශපාලන විචාරකයන් සහ කියන වෙලාවක කඩේ යන්න මලු කරේ දමාගෙන සිටින මාධ්‍ය ඔස්‌තාර්ලා මේ තත්ත්වය ජනතාව වෙත ගෙන යන්නේ විපක්‌ෂයේ නොහැකියාව හා ආණ්‌ඩුවේ හැකියාව ලෙසය. ඒත් හැකියාව ඇති ආණ්‌ඩුවක්‌ පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන්නේ විපක්‌ෂ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමෙන් නොව මැතිවරණයකදී ලබන පිරිසිදු ජයග්‍රහණයකින් බව ඔවුන් රටට කියන්නේ නැත.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක දේශපාලන ඉතිහාසය තුළවත් මෙබඳු ලඡ්ජාසහගත ක්‍රමවලින් බලය පෙන්වූ ආණ්‌ඩුවක්‌ තිබූ බවට හෝ තිබෙන බවට තොරතුරු නැත. එපමණ තරමට මේ ආණ්‌ඩුව විපක්‌ෂයට බලපෑම් කර ඇත. මේ අර්බුදය විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂවල දුර්වල බව පෙන්වන්නක්‌ ලෙස විග්‍රහ කිරීමට අප උත්සාහ කළහොත් එය බුද්ධිමත් වන්නේ නැත. 1977 දී තුනෙන් දෙකක බහුතර බලයක්‌ ලබා ගැහැනියෙක්‌ පිරිමියෙක්‌ බවට පත්කිරීම හැර අන් ඕනෑම දෙයක්‌ කිරීමට තමන්ට හැකියෑයි කී හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන රට අරාජික කිරීමේ මුල් පියවර තැබුවද විපක්‌ෂ මන්ත්‍රීවරුන් බිලි බා පාර්ලිමේන්තුව අසමබර කිරීමට තරම් බාල ප්‍රතිපත්ති අනුගමනය කළේ නැත. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමය දක්‌වා දේශපාලනයේ එබඳු ආචාර ධර්ම ආරක්‌ෂා වී තිබෙනු අපි දුටිමු. එහෙත් අද එබඳු චර්යාත්මක දේශපාලන භාවිතයක්‌ අපට දකින්නට නැත.

මේ අවිචාරවත් ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මහින්ද රාජපක්‌ෂ රජය බවට සෘජුව ඇඟිල්ල දිගු කිරීමට අපට සිදු වෙයි. 2007 වසරේÊපැවැති 2008 ට අදාළ අයවැය තෙවැනි වර කියෑවීමේ ඡන්ද විමසීමකදී විපක්‌ෂය බලවත්ව ආණ්‌ඩු පක්‌ෂය මහත් අසීරුතාවකට පත්ව සිටියේය. ආණ්‌ඩු පක්‌ෂයේ ඇමැතිවරුන් කීප දෙනකුම විපක්‌ෂයේ බලය ගැන විශ්වාසය තබා පිල් මාරු කිරීමේ සූදානමක පසුවිය. ඒ අවස්‌ථාවේ කාගේත් අවධානය යොමු වූයේ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී කණ්‌ඩායමේ අයවැය පිළිබඳ මතය කුමක්‌ද යන්න ගැනය. එහෙත් ඔවුන් එදා ඉතා විශිෂ්ට ලෙස ක්‍රියා කරමින් ආණ්‌ඩුව අනතුරට පත් නොවන ලෙසත් ආණ්‌ඩුවේ ඇතැම් ක්‍රියා කලාපයන් කෙරේ වන තම විරෝධයට හානියක්‌ නොවන ලෙසත් ක්‍රියා කළේය. එදා ජවිපෙ අයවැයට විපක්‌ෂ බවට මුලදීම ප්‍රකාශ කළේ නම් අද මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවකුත්, යුද්ධයේ අවසානයකුත් නොවන්නට ඉඩ තිබිණි.

ජනතා විමුක්‌ති පෙරමුණ එදා රට වෙනුවෙන් තමන්ගේ දේශපාලන අරමුණු යටපත් කර චර්යාත්මක ලෙස ක්‍රියා කළ බවය මෙම ලියුම්කරු අදහස්‌ කරන්නේ. එහෙත් එසේ අසීරු මොහොතක සිsටි තමන්ට ඓතිහාසික සහායක්‌ පළකළ ජනතා විමුක්‌ති පෙරමුණ කැබැලිවලට කඩා පාර්ලිමේන්තුව තුළ සිටි ශක්‌තිමත්ම කටවල් කීපයක්‌ම වසා දමන්නට තරම් මේ ආණ්‌ඩුව මුග්ධ වූ බව නොලියා සිටිය නොහැක.

දුර්වල විපක්‍ෂය!

විපක්‌ෂයේ ප්‍රධාන පක්‌ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයට තරම් මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවේ "මන්ද" මරණීය වූ තවත් පක්‌ෂයක්‌ නැති තරම්ය. එජාපයේ මන්ත්‍රීවරුන් 17 දෙනකු එකවර ආණ්‌ඩු පක්‌ෂයට පැමිණීමෙන් ඒ බව පැහැදිලි වෙයි. එක්‌සත් ජාතික පක්‌ෂ නායක සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අනම්‍යශීලී ප්‍රතිපත්ති රාජපක්‍ෂ රජයේ බිලි බා ගැනීමේ ප්‍රතිපත්ති හා රන් රස සේ පෑහුණු බව නම් ඇත්තය. එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු අධීක්‌ෂණ මන්ත්‍රී ධුරයක්‌ ලබා ආණ්‌ඩුවට එකතු වීම දක්‌වාත් එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයන්ගේ දරදඬු ප්‍රතිපත්තිවල වෙනසක්‌ සිදු නොවුණි. පක්‌ෂ ව්‍යවස්‌ථාව හා පක්‌ෂ විනය ආරක්‌ෂා කිරීම සඳහා පක්‌ෂ නායක වික්‍රමසිංහ දැඩිව පෙනී සිටියද ආණ්‌ඩු පක්‌ෂයේ නොවැදගත් දේශපාලන භාවිතය හමුවේ සියලු දෙනාට සවන් දීමේ ක්‍රියා පිළිවෙතකට අවතීර්ණ වීමේ හදිසි අවශ්‍යතාවක්‌ දැන් පැන නැගෙමින් පවතී. එහෙත් පක්‌ෂ නායකත්වය වසර 6 ක්‌ දක්‌වා දීර්ඝ කිරීම සඳහා පසුගියදා ගත් හදිසි තීන්දුව පිළිබඳ සලකා බැලීමේදී එජාපය තුළ සංවාදයක්‌ ගොඩනැඟෙනු ඇතැයි යන්න විශ්වාසයක්‌ තැබිය නොහැක.

අඩු වැඩි වශයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ තුළද පවතිනුයේ මෙබඳු තත්ත්වයකි. පක්‌ෂයේ පසුබෑමටත් වඩා රටට හානිදායක වූයේ ජනතා විමුක්‌ති පෙරමුණේ පසුබෑමය. මේ සිදුවෙමින් පවතින සියල්ලෙහි නරක ප්‍රතිඵල දැනටමත් රටට අත් වෙමින් පවතී. ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන් අපරාධකරුවන් බවට පත්ව සිටින්නේත්, පාසල් අධ්‍යාපනයේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්‌වා සමස්‌ත අධ්‍යාපන ක්‌ෂේත්‍රයම අවුලක්‌ බවට පත්ව තිබෙන්නේත්, දේශපාලන අධිකාරිත්වයට වුවමනා පරිදි නීතිය මෙහෙයෑවෙන්නේත් වරද අමතක වීම නීතියෙන් බේරී යැමට හොඳම අවස්‌ථාවක්‌ ලෙස දේශපාලකයන් විසින්ම සමාජයට පූර්වාදර්ශ සපයන්නේත් එබඳු ප්‍රතිඵල ලෙසය.

කෙසේ වුවත් විපක්‌ෂය ඇත්තේ දුර්වල වූ තැනක නොව දුර්වල කිරීම හේතුවෙන් පසුබෑමට ලක්‌වූ තැනකය. ජනතා විමුක්‌ති පෙරමුණෙන් බිඳී ගිය පිරිස පිහිට වූ පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයේ මංගල මහා සමුළුවට දින කීපයක්‌ තබා එහි නියමුවන් දෙදෙනකු පැහැරගෙන යැමේ සිද්ධියම ඒ සඳහා උදාහරණයකට ප්‍රමාණවත් ය. එහෙයින් දුර්වල කිරීමෙන් බේරී සිටීමේ උපක්‍රම සොයා ගැනීමට විපක්‌ෂයේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ වහා කටයුතු කළ යුතුය. අප විශ්වාස කරන්නේ එය කළ හැක්‌කේ රටේ සමස්‌ත දේශපාලනික පරිහානිය පිළිබඳ ගොඩනැඟිය හැකි සංවාදයකින්ම පමණක්‌ බවය. බිලි බෑමේ ප්‍රතිපත්තියද මිට අදාළ බව අමතක නොකළ යුතුය.

මිනිස්‌ ජාවාරමේ ගින්න!


පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නීති විරෝධී ලෙස විදෙස්‌ගත කිරීමේ ජාවාරමක්‌ පිළිබඳ වාර්තාවක්‌ ඊයේ "දිවයින" මුල් පිටුqවේ පළ වී තිබේ. පසුගිය මාස කීපයකම මෙබඳු ආකාරයෙන් පුද්ගලයන් විදෙස්‌ගත කිරීමට ගත් උත්සාහයන් හි දී ඒ සඳහා යොදාගත් බෝට්‌ටු මුහුද මැදදී අනතුරට පත් වී ජීවිත හානි සිදු වූ ප්‍රවෘත්ති ද අසන්නට දකින්නට ලැබුණි. අදාළ ප්‍රවෘත්තියේ සඳහන් වන ලෙස මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ මෙවර නැගෙනහිර පළාත් සභාව සඳහා තරගවදින දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයකු වන සුරේෂ් කුමාර් නමැත්තකු හා නීතීඥවරයෙකි.

උතුර - නැගෙනහිර ප්‍රදේශවලින් පුද්ගලයන් පිටරට පැටවීම අද ඊයේ ආරම්භ වූවක්‌ නොවේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය එම භූමි ප්‍රදේශ පාලනය කළ සමයේ කරගෙන ගිය ජාවාරම් අතර ප්‍රධාන ජාවාරම් කීපයක්‌ වෙයි. එකක්‌ අවි ආයුධ ජාවාරමයි. අනෙක මත්ද්‍රව්‍ය ජාවාරමයි. මිනිසුන් විදෙස්‌ රටවලට නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමෙන් ද ඔවුහු අති විශාල ධනස්‌කන්ධයක්‌ උපයා ගත්හ. ඒ අතරම ඔවුන් මිනිස්‌ ජාවාරම යොදා ගත්තේ ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණු ඉෂ්ට කරගැනීමේ උපායයක්‌ ද වශයෙනි. එනම් මෙසේ පුද්ගලයින් සරණාගතයින් ලෙස අමෙරිකාව ඇතුළු යුරෝපා රටවලට පැටවූ ඔවුන් එම රටවලට අ`ගවා සිටියේ මෙසේ පැමිණෙන්නවුන් ශ්‍රී ලංකාවේ මහා ජාතියෙන් එල්ලවන පීඩා ඉවසා ගත නොහැකිව එන්නන් බවයි. එකල ශ්‍රී ලංකාවේ යුදමය තත්වයක්‌ ද පැවති හෙයින් එල්.ටී.ටී.ඊ. ය ජයටම මේ ජාවාරම කරගෙන ගියේ ය. හැබැයි එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනතාවගෙන් එසේ නීති විරෝධී ලෙස හෝ යුරෝපයට පැනගන්නට ලැබුණේ අතමිට යහමින් තිබූවන්ට පමණ ය. මන්ද යුරෝපයට යැමට ඕනෑ නම් තමන් සතු සියලු ධන සම්පත් එල්.ටී.ටී.ඊ.ය ට පූජා කළ යුතුය. ධන සම්පත් අහිමි වුවත් කමක්‌ නැතැයි සිතා බොහෝ පිරිසක්‌ පිටරටවලට පැන ගත්තේ එල්.ටී.ටී.ඊ. කෲර පාලනයෙන් මිදීමට අන් මගක්‌ නොවූ හෙයිනි. එහෙත් එසේ සියල්ල පුජාකර යුරෝපයට පැන ගත්ත ද ඔවුන්ට එල්.ටී.ටී.ඊ.යෙන් ගැලවීමක්‌ නම් ලැබුණේ නැත. මොන රටේ කොතැන සිටියත් සංවිධානයට කප්පම් මුදලක්‌ ගෙවිය යුතු විය.

දෙමළ ජනතාවටම වෙන් වූ ස්‌වාධීන රාජ්‍යයක්‌ ගොඩනගනවා යෑයි කියා එල්.ටී.ටී.ඊ.ය අහිංසක දෙමළ ජනතාව රැවටුව ද තමන්ගේ ඊළාම් රාජ්‍ය පිළිබඳ සිහිනයක සිටි මේ ජනතාව තම අකමැත්ත යටපත් කරගෙන සංවිධානයට මුදල් පොම්ප කිරීමට පියවර ගත්තේය.

අද එල්.ටී.ටී.ඊ.ය නැත. එහෙත් ඔවුන්ගේ සෙවණැලි තවමත් උතුරේ හොල්මන් කරනා බව සුරේෂ් කුමාර් වැන්නවුන්ගෙන් පැහැදිලි වෙයි. අද ඔවුන් මේ ජාවාරම කරන්නේ දෙමළ ජනතාව පමණක්‌ යොදාගෙන නොවීමය විශේෂත්වය. පසුගියදා අත්aඩංගුවට පත් මෙබඳු නීතිවිරෝධී බෝට්‌ටුවක සිටි සිංහල ජාතිකයන් කීපදෙනකු ගැන ද තොරතුරු වාර්තා විය. දෙමළ සන්ධානයේ අදාළ අපේක්‍ෂකයා පළාත් සභාවට පත් වන්නට වරම් ඉල්ලන්නේ මෙබඳු ජාවාරම් වඩාත් දියුණු ආකාරයෙන් කරගෙන යැමට ද යන්න අපි නොදනිමු. කොහොම වෙතත් මෙබඳු අයකුට නාමයෝජනා දීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කටයුතු කළේ මේ කිසිවක්‌ නොදැන යෑයි කියා කියන්නට හැකියාවක්‌ නැත. එහෙයින් අදාළ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දැන් රටට ගතු කිව යුතුව තිබේ. එපමණක්‌ ද නොවේ දෙමළ ජනතාව මෙබඳු ජාවාරම් ඔස්‌සේ විදෙස්‌ගත කිරීම් සම්බන්ධයෙන් ද තමන්ගේ ස්‌ථාවරය ප්‍රකාශ කළයුතුව තිබේ.

ආණ්‌ඩුවටද මේ සම්බන්ධයෙන් බරපතළ වගකීමක්‌ ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි බලය යටපත් කළ ද මෙබඳු ජාවාරම් ඔස්‌සේ රට අපකීර්තියට පත් කිරීමේ උත්සාහයන් ඇති බව හඳුනා ගත යුතුව තිබේ. දකුණේ නොහික්‌මුණු දේශපාලකයන්ට ද මෙබඳු ජාවාරම්වල රස දැනෙන්නට පෙර මේවා මුලිනුපුටා දැමීමට වහා පියවර ගත යුතුව තිබේ. එසේ නොවුණහොත් මේ රට ඇවිලෙන්නේ කිසි දා නිවා දැමිය නොහැකි ගින්නකින් බව අවධාරණය කිරීමට අපට සිදු වෙයි



පත්තරකාරයා පාරිශුද්ධද?


සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සංස්‌කාරක කරුණාදාස සූරියආරච්චිගේ අලුත්ම නවකථාව "මම තවම යමි" දොරට වැඩීම නිමිත්තෙන් පසුගියදා මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයේ දී මෙරට ජනමාධ්‍යවේදියා පිළිබඳ ගොඩනැඟි සංවාදය කිනම් අරමුණකින් සිදු වුව ද එය අද දවසට අත්‍යවශ්‍ය සංවාදයකැයි නිරෝධගේ අදහසයි. සූරියආරච්චිගේ නවකථාව පිළිබඳ සංවාදයකට වඩා ජනමාධ්‍යවේදියාගේ පාරිශුද්ධත්වය කිරා මැන බැලෙන සංවාදයකට දේශකයන් යොමුවන්නට ඇත්තේ ලේඛකයා ජනමාධ්‍යවේදියකුත් පුවත්පතක ප්‍රධාන සංස්‌කාරකවරයකුත් නිසා විය හැක.

සාමාන්‍යයෙන් ලංකාවේ පොත් දොරට වැඩීමක දී ලේඛකයා මොන බහුබූතයක්‌ ලියා තිබුණ ද දේශකයන් එහි දොසකට දකින්නේ ව්‍යාකරණ අඩුපාඩු කීපයක්‌ පමණි. එහෙත් මහවැලි කේන්ද්‍රයේ දී ඒ තත්ත්වයේ වෙනසකි, නිරෝධ දුටුවේ. සියලුම ප්‍රධාන දේශකයන් මම තවම යමි නවකථාවේ ග්‍රන්ථ නාමයේ පටන් අන්තර්ගතය දක්‌වා වූ අඩුපාඩු ඉතාමත් තාර්කිකව සාකච්ඡා කළ බවය, නිරෝධගේ අදහස. ඇතැමෙක්‌ මේ අදහස සම්බන්ධයෙන් නිරෝධ සම`ග එක`ග නොවන්නට ද ඉඩ ඇත. එහෙත් "මම තවම යමි" කියවා අවසන් වූ පසු ඒ ගැන තමන් තුළම සංවාදයක්‌ ගොඩන`ගා ගැනීමට හැකියාව ඇත.

ජනමාධ්‍යවේදියාගේ පාරිශුද්ධත්වය ගැන ප්‍රශ්න කරමින් සංවාදය ආරම්භ කළේ ධම්ම දිසානායක ය. ඔහු කොයි තරම් ගැඹුරට ඒ සංවාදය රැගෙන ගියා ද යත් අවසානයේ ඔහු නතර වූයේ තමන් පිළිබඳ ම ආත්ම විවේචනයක ය කීවෝතින් වඩාත් නිවැරදිය. පරිණත පුවත්පත් කලාවේදියකු දේශපාලනික තනතුරක්‌ දැරීමට යැම නිසා ලබන මානසික වියවුල කියන්නට සූරියආරච්චි උත්සාහ දරා ඇත. එහෙත් ධම්ම කථා කළ ආකාරයෙන් නිරෝධට හැ`ගුණේ ඔහු එම නවකථාව තමන්ගේ ජීවිත කථාව ලෙස පටලවාගෙන තිබූ බවය. කිසිම පුද්ගලයකුට තමන්ගේ හෘද සාක්‍ෂියෙන් ගැලවීමක්‌ නැති බව නම් ධම්ම අපට වඩාත් හොඳින් පැහැදිලි කළේය. කෙසේ වෙතත් නිරෝධ සිතන්නේ ධම්මගේ ආත්ම විවේචනය අවංක විවේචනයක්‌ බව ය.

නිරෝධගේ අවධානය වඩාත් යොමුවන්නේ එහි දී උපුල් ශාන්ත සන්නස්‌ගල දැක්‌ වූ අදහස්‌ කෙරේ ය. ඔහු ජනමාධ්‍යවේදියාගේ පාරිශුද්ධභාවය ප්‍රශ්න කළේ එක්‌තරා ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියකුගේ පෞද්ගලික ජීවිතයේ නිදර්ශනයක්‌ ද ගෙනහැර පාමිනි. සන්නස්‌ගල ඉන් කියා පෑමට උත්සාහ කළේ පුවත්පතකට ලියන වාගාලාපයන්ගෙන් යුතු අලංකාර ලිපියක්‌ තරමට පත්‍රකලාවේදියකුගේ අභ්‍යන්තරය අලංකාර නැති බවයි. එහෙත් සන්නස්‌ගල එම ප්‍රකාශය පත්‍රකලාවේදීන්ට පමණක්‌ පොදු ලෙස සිතා කළේ එතරම් මුලාවක්‌ නැති බව නම් නොකියා බැරිය. එහෙත් අද වන විට මෙරට ජනමාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය භාවිතයේ පාරිශුද්ධභාවය සම්බන්ධයෙන් එදාටත් වඩා බරපතළ තත්ත්වයන් පවතින බවය, ඇත්තම කාරණය. එදා ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් බරපතළම චෝදනාවක්‌ එල්ල වුණා නම් ඒ මධුවිතට ලොල් වීමය. එහෙත් ජනමාධ්‍ය ආචාරධර්ම සහ ජනමාධ්‍ය පෞරුෂය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනාවක්‌ එල්ල නොවූ තරම් ය. කිසියම් ආකාරයකින් එබඳු චෝදනාවකට ලක්‌වූවකු වූයේ නම් මාධ්‍ය ක්‍ෂේත්‍රය විසින් එම පුද්ගලයා ප්‍රතික්‍ෂේප කළේය. මේ තත්ත්වය දන්නා කිසිවකුත් එබඳු පහළ මට්‌ටමකට වැටෙන්නට මේ ගෞරවනීය වෘත්තිය ට එදා ආවේ නැත. එබඳු ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදීන් දකීපදෙනකු හෝ අදත් ජීවත්ව සිටින නිසා සන්නස්‌ගල ඔවුන් ගැන ද සිහිපත් කළා නම් අගේ යෑයි නිරෝධට සිතුණි.

අද ඇතැම් ජනමාධ්‍යවේදීන්ගේ හා ඔන්ගේ මාධ්‍ය භාවිතයේ ඛේදනීයත්වය විස්‌තර කිරීමට මෙබඳු සටහනක්‌ කෙසේ වෙතත් පොත් දහයක්‌ ලියූව ද ප්‍රමාණවත් නැත. සංවේගයට කාරණය නම් අද මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ පවා උත්කර්ෂයට ලක්‌ කරන්නේ මෙබඳු මාධ්‍ය භාවිතාවන් වීම ය. කරුණාදාස සූරියආරච්චි මම තවම යමි නවකථාවෙන් එබඳු චරිතයක ආත්ම කථනය කියා පෑමට උත්සාහ ගෙන ඇතත් සන්නස්‌ගල එදා ඔප්පු කර පෙන්වූ පරිදි (වටරවුම, සත්‍යවාදියකුගේ දින සටහන් ආදී උදාහරණ ගෙන) මෙය සූරියආරච්චිගේ ආත්මකථනය දෝයි නිරෝධට ද කුකුසක්‌ උපදී. කෙසේ වුවත් පත්‍රකලාවේදියකු තමන්ගේ වෘත්තිය පාවා දෙමින් ගන්නා තීන්දු තීරණ කෙදිනක හෝ ඔහුගේ හෘදසාක්‍ෂිය විසින් ප්‍රශ්න කරනු ලබන බව අපට පහදා දීමට ලේඛකයා ගෙන තිබෙන අවංක උත්සාහය ප්‍රශංසා සහගතය.

පරමාදර්ශී ජනමාධ්‍යයක්‌ හෝ මාධ්‍යවේදියෙක්‌ මේ මිහිපිට ඇතැයි නිරෝධ විශ්වාස කරන්නේ නැත. එහෙත් වෘත්තියට අවංක විය හැකි උපරිම සීමාව දක්‌වා හෝ යැමට නොහැකි යෑයි ද නිරෝධ විශ්වාස කරන්නේ නැත. අද බොහෝ දෙනකු ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට යොමු වන්නේ මෙම වෘත්තීය වරප්‍රසාදයක්‌ කරගෙන තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරගැනීමට ය. මේ තත්ත්වය කොයිතරම් පහළ මට්‌ටමින් ක්‍රියාත්මක වෙනවාද යත් අද දවසේ පුවත්පත් කලාවේදියකු වීමේ අරමුණු නිරෝධට මෙසේ පෙළගැස්‌විය හැක.

* බලයේ සිටින ආණ්‌ඩුවේ තනතුරක්‌ ලබාගැනීම.

* රූපවාහිනි නිවේදක සිහිනයක්‌ සැබෑ කරගැනීම.

* විදේශ සංචාර සඳහා අනුග්‍රාහකත්වයන් ලබා ගැනීම.

* ප්‍රභූ පුද්ගලයන්, ජනප්‍රිය පුද්ගලයන් ඇසුරු කිරීම හා ඒ බව සමාජයට ඇ`ගවීම.

* තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යැමට ඉතා හොඳ වාහකයක්‌ වීම.

මීට අමතරව චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක ර`ගපෑමට අවස්‌ථාව උදාකර ගැනීම සඳහාත්, ව්‍යාපාරික ප්‍රවෘත්ති වාර්තා කිරීමට යැමේ දී යම් යම් තිළිණ ලැබෙන නිසාත්, මේ කිසිවක්‌ම නැතත් කරන්නට වෙන රස්‌සාවක්‌ නැති නිසාත් මාධ්‍යවේදීන් බවට පත් වූවෝ ද කොතෙකුත් වෙති. කිනම් අරමුණකින් පැමිණිය ද වෘත්තියට එළඹුණු පසුව හෝ එහි වටිනාකම හා ගෞරවය හඳුනාගත හැක්‌කේ නම් ගැටලුවක්‌ නැත. එහෙත් එබන්දක්‌ නම් නිරෝධ දකින්නේ නැත. නිරෝධ දන්නා පරිදි එදා පත්‍රකලාවේදියා මත්පැන් වීදුරුවකට වෘත්තිය බාල්දු කළේ නැත. එහෙත් බරපතළ කාරණය ඉහත අරමුණු සපුරා ගනුවස්‌ අද සිටින මාධ්‍යවේදීන් යෑයි කියාගන්නා ඇතැම් පිරිස්‌ වෘත්තීය ගරුත්වය අමු අමුවේ කෙළෙසා දැමීම ය. එය සුරා සො`ඩකු වීම තරම් නම් අහිංසක නැත.