Wednesday, November 28, 2012

ප්‍රබන්ධයක්‌ දෙස වියුක්‌තව බැලීමෙන් සාහිත්‍යයට මෙහෙයක්‌ වෙන්නේ නැහැ
 
ලියනගේ අමරකීර්ති


                                           
                                              











සංවාදය - නිරෝෂන් හැඳලගේ


 
 ප්‍රබන්ධකරුවකු ලෙස නවකතාව, කෙටි කතාව හා කවිය යන සාහිත්‍ය ශානර තුනෙහිම නියෑලෙන ඔබ, ඔබේ ප්‍රකාශනය වඩාත් තීව්‍ර කළ හැකි සාහිත්‍යාංගය ලෙස අත්දකින්නේ මින් කුමක්‌ ද?
 බොහෝ දු
රට කෙටිකතාව. එය සාර්ථක වුණොත් ඉලක්‌කයටම වදිනවා. ඒ වගේම කියෑවීම් අත්දැකීම් තීව්‍රයි. විශිෂ්ට කලාව කියන්නේ අත්දැකීම් තීව්‍ර කිරීමයි. ඕනෑම සාහිත්‍යයක්‌ අත්දැකීම ගැන අත්දැකීම තීව්‍ර කරනවා. සාහිත්‍යය කියන්නේ අත්දැකීම් ගැන දෙවැනි අත්දැකීමක්‌. ඒ අතර කෙටි කතාව තියුණු සාහිත්‍යාංගයක්‌. වර්තමාන පොත් වෙළෙඳපොළ අන්ත දෙකකට බෙදුවොත් එක්‌ අන්තයක්‌ කලාත්මක අන්තය ලෙසත්, අනෙක වාණිජ්‍ය අන්තය ලෙසත් හඳුන්වන්න පුළුවන්. නවකතාව තියෙන්නේ වාණිජ්‍ය අන්තයට බරව. කවිය, කෙටි කතාව තිබෙන්නේ කලාත්මක අන්තයක. ඉතාම විශිෂ්ට අන්තයක නවකතාවක්‌ වුණත් ඇත්තේ වාණිජ්‍යමය අන්තයක. ගාර්සියා මාකේස්‌ ගේ නවකතා වුවත් බොහෝ විට වාණිජ අන්තයේ පවතින බව කියන්න පුළුවන්. කෙටි කතාව කොහොමත් වාණිජ අංශයේ පවතින්නේ නෑ. අජිත් තිලකසේන, පියල් කාරියවසම්, කම්මැල්ල වීර වැන්නන් කෙටිකතාවලින් කෙටි කතාවේ කලාත්මක අන්තය ගැන උදාහරණ ගන්න පුළුවන්. කෙටි කතාව මට සුවිශේෂ වන්නේ මේ නිසායි.

 කෙටි කතාවක මෙවලම්වලින් කොයි තරම් ප්‍රබලව කතාවක්‌ කියන්න පුළුවන් ද?

 කෙටි කතාවක්‌ විශිෂ්ට වෙන හැම තැනකම අලුත් යමක්‌ කියනවා වගේම අලුත් විදිහටත් කියනවා. කෙටි කතාව කෙටි වීම නිසා සමහර අත්හදා බැලීම් තියුණු විදිහට කරන්න පුළුවන්. උදාහරණයක්‌ විදිහට සයිමන් නවගත්තේගමගේ zප්‍රේත වස්‌තුවේZ භික්‌ෂුවක්‌ අපවත් වෙලා ඇට සැකිල්ලක්‌ බවට පත් වෙනවා. එය කෙටි කතාවක්‌ නිසා කම්පනීය වටිනාකම වැඩියි. අපි හිතමු මිනිහෙක්‌ කුරුමිණියෙක්‌ බවට පත් වෙන නවකතාවක්‌ තිබෙනවා කියලා. නමුත් පිටු තුන් හාරසීයක්‌ යන විට පාඨකයාට එය කියෑවීම එපා වෙන්න පුළුවන්. ඇතැම් විට මුල අමතක වෙන්නත් පුළුවන්. නමුත් කෙටි කතාවකදී ඒ අත්දැකීම ක්‍ෂණයෙන් ලැබී අවසන් වෙනවා. එවිට එය දැනෙනවා වැඩියි. ඒ නිසා එබඳු අත්දැකීමක්‌ දෙන්න කෙටි කතා මාධ්‍ය හොඳයි කියා මා හිතනවා.

 ෆැන්ටසිමය ආකෘතියෙන් යුතු ප්‍රස්‌තුත ප්‍රබන්ධ කරන්නට කෙටි කතා කලාව වඩාත් යෝග්‍යයයි කියා යෝජනා කළොත්?
 

 මා හිතනවා එය බොහෝ දුරට නිවැරැදියි කියා ගාර්සියා මාකේස්‌ එය හොඳින් භාවිත කළා. හොසේ සරමාගෝ ගේ නවකතාවක්‌ තිබෙනවා ද බ්ලයින්ඩ්ස්‌ කියා. එය විශිෂ්ට නව කතාවක්‌. නමුත් පිටු 100 ක්‌ පමණ කියවන විට එහි ෆැන්ටසිමය තත්ත්වය අපට අමතක වී යනවා. ඒ නිසා මා හිතනවා ෆැන්ටසිමය කතාවක්‌ ලිවීමට කෙටි කතාව වඩාත් සුදුසුයි කියා. නමුත් එයින් හැඟවෙන්නේ නෑ කෙටි කතාවට ෆැන්ටසිමය අර්ථයන් ම අවශ්‍යයි කියලා. තවමත් සාර්ථක යථාර්ථවාදී කෙටි කතා ලියන අය ඕනෑ තරම් ලෝකයේ සිටිනවා.

 ෆැන්ටසිමයත්වයේ ආශ්චර්යයට වඩාත් තියුණු කලාත්මක අන්තර් දෘෂ්ටීන් සැපයිය හැක්‌කේ කෙටි කතාවේදීයි කියා ඔබේ රචනාවකදී සඳහන් කර තිබුණා.
 

 කෙටි කතාවට හෝ නවකතාවට ෆැන්ටසිමය තත්ත්වයක්‌ එකතු කරන්නේ නිර්මාණයට අලුත් අර්ථයක්‌ සපයන්නයි. නමුත් හැම නිර්මාණයක්‌ම ෆැන්ටසිමය වීම සුදුසු වන්නේ නෑ. අර මිහිරි සීනු නාදයේ එක්‌ කෙටි කතාවක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌ තමන්ගේ ගුරවරුන්ගේ දෛනික ජීවිතය වෙනස්‌ කරන්න ඔවුන්ගේ නිවෙස්‌වලට ඇතුළු වී විවිධ දේ වෙනස්‌ කරනවා. එය තථ්‍ය ලෝකයේ සිදුවිය හැක්‌කක්‌ නොවෙන්න පුළුවන්. නමුත් ඒ කතාවෙන් මා උත්සාහ කරන්නේ මිනිස්‌ ජීවිතේ දෛනිකත්වය කියන එක සතෙක්‌ වගේ කොයි තරම් අපව මැඬගෙන ඉන්නවාද කියන එකයි. ඒ නිසයි මම මුලින්ම කීවේ එදිනෙදා ජීවිතයේදී අපි ලබන අත්දැකීම් ගැන අත්දැකීම් ලබන්නේ නෑ කියලා. නමුත් කෙටි කතාවකදී අපි දෛනිකව ලබන අත්දැකීම් සාහිත්‍යමය අත්දැකීමක්‌ ඔස්‌සේ අපට අන්තර් දෘෂ්ටීන් ලබා දෙනවා. එය අපේ ජීවිතයට ප්‍රයෝජනවත්. ඉන් ජීවිතය පිළිබඳ ගැඹුරු අන්තර් දෘෂ්ටීන් ලබන්න පුළුවන්.

 මේ කෙටි කතා එකතුවේ බොහෝ කතාවලින් කෙටි කතාව හා තථ්‍ය ලෝකය අතර රූපිකමය සම්බන්ධයක්‌ ගොඩනඟන්න ඔබ උත්සාහ ගෙන තිබෙනවාද?
 

 ඔව් සමහර කතාවලින් එය සිදුවෙනවා. මම ඊට කියන්න කැමැතියි රූපකාත්මක සම්බන්ධය කියලා. කෙටි කතාව සමස්‌තයක්‌ ලෙස ගත් විට ජීවිතය පිළිබඳ රූපිකමය සම්බන්ධයක්‌. යථාර්ථවාදී කෙටි කතාවකදී පවා එය පවතින්නේ ඒ අර්ථයෙන්මයි.

 අර මිහිරි සීනු නාදය පාඨකයා සංවාදගත කියෑවීමකට කැඳවන බවයි මට හැඟෙන්නේ.
 

 මේ හැම කෙටි කතාවක්‌ම එක්‌තරා ආකාරයකින් වර්තමාන සිංහල බෞද්ධයා සමඟ කරන සංවාදයක්‌. එය සාමාන්‍යයෙන් සාහිත්‍යය පිළිබඳ මගේ මතය. සාහිත්‍ය කරුවෙක්‌ එක්‌තරා ආකාරයකින් තමන් ජීවත් වන සමාජය සමඟ වේදනාකාරී සංවාදයක්‌ රැගෙන යා යුතුයි කියා මා කල්පනා කරනවා. ඒ අනුවයි මෙහි ඇතැම් කෙටිකතා ගොඩනැඟී ඇත්තේ. පාඨකයා මේ කතා කියවන විට ඒ සිද්ධීන් තමන්ගේ ජීවිත අත්දැකීම් හා ගළපමින් කියෑවීමකට යොමු වෙනවා. එය ලේඛකයකු අතින් විය යුත්තක්‌.

 මේ කෙටි කතා බොහෝමයක ඔබේ දේශපාලනික කියෑවීම ස්‌ථානගත කෙරෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්‌ වුවත් ඇතැම් අවස්‌ථා අනවශ්‍ය ලෙස පෙනී සිටීමක්‌ දොa කියා හිතෙනවා.

 එය පරෙස්‌සමෙන් කළ යුතු සියුම් කාර්යයක්‌. එය පිටිපස්‌සේ තිබෙන්න ඕනේ කලාත්මක පාලනයක්‌. කෙටි කතාවේදී එක වචනයකින් එය සිද්ධ වෙන්න පුළුවන්. නවකතාවකදී එය එතරම් ගැටලුවක්‌ වන්නේ නෑ. එය ඕනෑම කෙනෙකුට වරදින්න පුළුවන් මාත් ඇතුළුව. නැත්නම් අමරසේකර මහතා වගේ කවුරු කොහොම කිව්වත් මම මගේ අදහසේ රැඳෙනවා කියා ඉන්නත් පුළුවන්. නමුත් එය කළ යුත්තේ මෙහෙමයි කියා කාටවත් කියන්න බැහැ. අජිත් තිලකසේන වැනි කෙටිකතාකරුවෙක්‌ කරන්නේ දේශපාලනික අන්තය සම්පූර්ණයෙන් අතහැරලා දාන එක. මම ඒ අන්තයේ ඉන්නෙත් නෑ. අමරසේකර මහතාගේ හා අජිත් තිලකසේන මහතාගේ අතරමැද පවතින්න පුළුවන් නම් වඩාත් හොඳයි කියා මා හිතනවා. පියල් කාරියවසම්, ප්‍රභාත් ජයසිංහ, නිශ්ශංක විඡේමාන්න, අනුරසිරි හෙට්‌ටිගේ වැනි තරුණ කෙටිකතාකරුවන් එතැන ඉන්නා බව මා දකිනවා. අපේ තරුණ කෙටිකතාකරුවන්ට එබඳු තැනකට ආ හැකි නම් එය සිංහල කෙටිකතාවේ සුවිශේෂ තත්ත්වයක්‌ වෙයි කියා මා හිතනවා.

 ඇතැම් කෙටි කතාවල අන්තර්ගතය අනුව අන්තයක පවතින්න වෙනවා නේද?

 මගේ අලුත් ලෙච්චමී කෙටි කතාව ලියන අතරතුර මටත් ඔය ගැටලුව ඇති වුණා. ඒ නිසයි මම කාන්තා කථකයකු යොදා ගත්තේ. මම පිරිමි ලේඛකයකු වුණත් කාන්තා කථකයකු හරහා කතාව කිව්වා. ඒත් එය සාර්ථකම නෑ කියලා මටත් හිතෙනවා. නමුත් මේ කතා අතර හැම කතාවකම මම ඉන්නවා. මම ඉන්න බව පේන්නේ නෑ කියන කතාවෙත් මම ඉන්නවා. මම ඉන්න බව පේන්නේ ඒ කතාවල සාමූහික කථිකාවේ අපි හැමෝම ඉන්න නිසයි. ඒ කෙටි කතාවට ප්‍රතිචාර දක්‌වන බොහෝ දෙනෙක්‌ සාමාන්‍ය මැද පාංතික සමාජයේ ඉන්නේ. සාහිත්‍ය සාර්ථක වෙන්නේ යම් සමාජයක ප්‍රජාව එළිපිට කතා නොකරන හෘද සාක්‍ෂියෙන් හංගන්න හදන දෙයක්‌ එළිදරව් කරනවා නම් කියායි මා හිතන්නේ. මුලදී එය ගැටලුවක්‌ වුණත් ඒ තත්ත්වය හෙළිදරව් වෙලා ඉදිරියට යනකොට හෘද සාක්‍ෂිය අමතක වෙලා ජීවිතය පිළිබඳ අවබෝධය ලැබෙන්න පටන් ගන්නවා. නමුත් යුද්ධයේ අවසාන දිනවල ලංකාවේ මධ්‍යම පාංතික මිනිස්‌සු හැසුරුණු ආකාරය පිළිබඳ මගේ විරෝධය ඒ කෙටි කතාවෙන් පේනවා නම් එය ඇත්ත වෙන්න පුළුවන්.

 මෙහි කෙටිකතා බොහෝමයකට පසුබිම් වන්නේ විශ්වවිද්‍යාලය. ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්‌. ඒ අත්දැකීම් මේ නිර්මාණයට වැඩි බලපෑමක්‌ කළාද?

 මම මුලින්ම කිව්වා ප්‍රබන්ධ කතාව හා තථ්‍ය ලෝකය අතර පවතින්නේ රූපිකමය සම්බන්ධයක්‌ කියලා. නමුත් මම විශ්වවිද්‍යාලය ඇතැම් කතාවලට පසුබිම් කර ගන්නේ විශ්වවිද්‍යාලය ගැනම කියන්න නොවේ. දෛනිකත්වය විසින් කාගේ හෝ ජීවිතය පාලනය කරනවා කියන්න මට විශ්වවිද්‍යාලය වැදගත් වෙනවා. මොකද විශ්වවිද්‍යාලය කියන්නේ දෛනිකත්වයට හැඩගැසුණු තැනක්‌. රතුවන් රත්නවල්ලි කෙටි කතාවට මම විශ්වවිද්‍යාලය තෝරා ගත්තේ මනුෂ්‍යයකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්‌ ශාස්‌ත්‍රීය ජීවිතය කරා පැතිරෙන්නේ කොහොමද කියන එක විමසන්න. මම ඉන් ගවේෂණය කරන්න උත්සාහ කරන්නෙ මේ මනුෂ්‍යයාට මෙහෙම වුණේ කොහොමද කියන එක. එය හුදෙක්‌ විශ්වවිද්‍යාලය ගැන කතාවක්‌ නොවේ. යම් පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ ගවේෂණය කිරීමක්‌. නමුත් ඒ අතර විශ්වවිද්‍යාල කියන ආයතන පිළිබඳ පසු කියෑවීමක්‌ කිරීමට ද මා යම් උත්සාහයක්‌ ගත් බව කිව යුතුයි. ලේඛකයකු තමන් ලබන අත්දැකීම් එසේ සාකච්ඡා කිරීම වැදගත්. අමරසේකර මහතා ඉතා නිවැරැදිව එය කරනවා. ඔහු ඒ තුළින් එළැඹෙන දෘෂ්ටිවාදාත්මකභාවය පිළිබඳ විවාද තිබුණත් මා හිතනවා ලේඛකයකු එසේ විය යුතුයි කියලා.

 නූතන කෙටිකතාව පුරාණෝක්‌තිමය සංජානනය අඩංගු කරගත් සාහිත්‍ය ශානරයක්‌ බවට චාල්ස්‌ ඊ මේ නමැති විචාරකයා උපුටමින් ඔබගේ රචනාවක අදහසක්‌ පළ කෙරෙනවා. එසේ නම් සිංහල කෙටි කතාව අපේ ජාතක කතා සාහිත්‍යයේ ම දිගුවක්‌ ය කියන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතයට මේ අදහස සමපාත වනවා නොවේද?

 එය ඉතා වැදගත් අදහසක්‌. කතා කීමේ අත්දැකීම කියන එක අවුරුදු දහස්‌ ගණනක්‌ පුරා අපට හුරු දෙයක්‌. ඒ සංස්‌කෘතියෙන් අපට ලැබුණු වැදගත් අංගයක්‌ තමයි කෙටි කතාව. නමුත් ප්‍රශ්නෙ තිබෙන්නේ නූතන කෙටි කතාව හුදෙක්‌ අපේම එකක්‌ කියන රේ‚ය අදහසක්‌ දීම අපහසු වීමයි. මේ නිසා සිංහල කෙටි කතාව ජාතක කතා ඔස්‌සේ සරල රේ‚යව ආ කලාවක්‌ වීම ගැටලු සහගතයි. ජාතක කතාව සිංහල කෙටිකතාව ගොඩනැඟෙන්න හේතුවක්‌ වුණා කියන්නත් පුළුවන්. ජාතක කතා වගේම අනෙකුත් ගම කතා, පුරාණ කතා අපේ කෙටි කතා කලාව ගොඩනැගෙන්න හේතු වුණා වෙන්නත් පුළුවන්. මේ නිසා වර්තමාන සාහිත්‍ය ප්‍රබන්ධ ශානර අතර ඉතා අතීතයට මුල් ඇදුණු සාහිත්‍ය ශානරයක්‌ ඇත්නම් ඒ කෙටි කතාව කියා කියන්න පුළුවන්.

 තනි කෘතියක්‌ වියුක්‌තව ගෙන හොඳ ද නරකද කීම තරම් න්‍යායික සාරවත් බවකින් යුත් විචාර ක්‍රමවේදයක්‌ නොවේ කියා ඔබ අදහස්‌ කරනවා. නමුත් අපේ සාහිත්‍යය විචාර කලාව තුළ මේ ගැන අවබෝධයක්‌ ඇත්දැයි යන්නත් සැක සහිතයි.

 මම හිතන්නේ කිසියම් සැලකිය යුතු බුද්ධිමත් කමකින් ලියෑවුණු සාහිත්‍ය කෘතියක්‌ ඇත්නම් ඒ ගැන කිසියම් සංවාදයක නිමිත්තක්‌ තිබිය යුතුයි. අද සමාජයේ විවිධ දේවල් ගැන, කතිකා තිබෙනවා. සාමය ගැන, අනන්‍යතාව ගැන සිංහලයා ගැන. දියුණු වෙනවා කියන්නේ කුමක්‌ද කියන එක ගැන, අනෙකුත් ජාතීන්ගෙන් වියුක්‌ත වෙලා අපට ජීවත් වෙන්න පුළුවන් ද කියන එක ගැන ආදී වශයෙන් කතිකාවක්‌ තිබෙනවා.

 නවකතාවක්‌ නම් නවකතා කලාවට ආවේණික නීති රීති එක්‌ක පළල් සමාජ කතිකාවට නිර්මාණය සම්බන්ධ කරන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. විචාරකයාට අවශ්‍ය දේවල් නිර්මාණයේ නෑ කියලා නිර්මාණය බැහැර කරන්න බැහැ. විචාරකයාට පුළුවන් වෙන්න ඕනෑ අර කෘතියේ තිබෙන සාහිත්‍ය විභවතා දකින්න. ගැඹුරු සාහිත්‍ය සාකච්ඡාවලදී කෘතියක්‌ හොඳ ද නරකද කියන එක වියුක්‌තව කියන්න බැහැ. ඒ ක්‍රමය දැන් අතහැර දමා හුඟක්‌ කල්ගත වෙලා. එහෙම කරවනවා නම් අපට මේ පොත වැඩක්‌ නැහැ. මේ පොත හොඳයි කියා නවතින්න පුළුවන්. නමුත් එහෙම කීමෙන් සාහිත්‍යයට මෙහෙයක්‌ වන්නේ නැහැ කියලයි මම හිතන්නේ.

No comments:

Post a Comment