Thursday, July 5, 2012























දේශපාලන දංගෙඩියට යන රටේ අනාගතය!



නිරෝෂන් හැඳලගේ

ආණ්‌ඩුව යළිත් ඡන්දයකට ගොස්‌ ඇත. ඒ සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා සඳහා ය. පසුගිය ජුනි 27 වැනිදා මේ පළාත් සභා තුන විසුරුවා හැරියේ ව්‍යවස්‌ථාපිතව නිල කාලය අවසන් වීම නිසා නොවේ. නැගෙනහිර පළාත් සභාව සඳහා තවත් මාස 9 ක කාලයක්‌ තිබියදීත් උතුරුමැද හා සබරගමුව පළාත් සභා සඳහා වසරකට වැඩි කාලයක්‌ (මාස 14 ක්‌) තිබියදීත් ආණ්‌ඩුව එම පළාත් සභා විසුරුවා හැර ඡන්දයකට ගියේය.

ආණ්‌ඩුවක්‌ හදිසි ඡන්දයකට යැමට විවිධ හේතු පැවතිය හැක. ඒත් මේ ආණ්‌ඩුව ඡන්ද පවත්වන්නේ තමන්ගේ දේශපාලන හෙළුව වසා ගැනීමට ය. ඒ බව තහවුරු කරමින් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල, පසුගියදා පැවැති කැබිනට්‌ රැස්‌වීමකදී කියා සිටියේ පළාත් සභා මැතිවරණයට ගියේ රජයට වාසිදායක අවස්‌ථාවක බවය. එම ප්‍රකාශයේ අනියම් අර්ථය නම් ඉදිරි කාලය ආණ්‌ඩුවට අවාසිදායක තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව නොවේද. ආණ්‌ඩුවේ ඕනෑම අසූචි ගොඩක්‌ රත්තරං ගොඩක්‌ කර පෙන්වීමට ඉදිරිපත් වන මේ ඇමැතිවරයා කියන්නේ නියමිත කාලයට පෙර පළාත් සභා විසුරුවා හැරීමත් කඩින්කඩ මැතිවරණ පැවැත්වීමත් ව්‍යවස්‌ථානුකූල බවය. එය ඇත්තක්‌ විය හැක. එහෙත් කඩින්කඩ මැතිවරණ පැවැත්වීම සඳහා වන අධික වියදම දරන්නේ තමන්ගේ පෞද්ගලික ගිණුමෙන්දැයි ඔහුගෙන් අසන්නට අපට සිදු වෙයි. මෙම පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පමණක්‌ රුපියල් කෝටි 60ට වැඩි මුදලක්‌ වැය වන බව මැතිවරණ කාර්යාලය කියයි. අඩුම තරමින් සියලු පළාත් සභා මැතිවරණ හෝ එක්‌ දිනක පවත්වා රට වෙනුවෙන් යම් අරපිරිමැස්‌මක්‌ කළ යුතුය කියන "ජාතික චින්තනයක්‌" මහින්ද චින්තනයට ඇතුළු කළ හැකි වුණා නම් ඒ බව සිහිපත් කර දෙන්නට හෝ අපට හැකිවනවා නොවේද?


කොහොම වෙතත් මේ අඥන දේශපාලනය මේ මොහොතේ ආර්ථිකමය වශයෙන් රට වැටී ඇති අනතුර ගැන සළකා හෝ එබඳු ප්‍රගතිශීලී පියවරකට යැමට සූදානමක්‌ ඇති බව පෙන්වන්නේ නැත. එනිසා මෙබඳු පටු දේශපාලනික වුවමනාවන් ප්‍රතික්‍ෂේප කිරීමේ අවස්‌ථාව දැන් එළඹී ඇත්තේ ජනතාවට ය.

රට තුළ අර්බුද ගණනාවක්‌ මතුවී තිබියදී තමන්ගේ බලය පිළිබඳ සැක සංකා විස¹ ගන්නට ආණ්‌ඩුව ඒ සියල්ල පසෙකට දමා ඇත. උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ මතුව තිබෙන අවුල් ජාලය ලිහා ගන්නට මේ ආණ්‌ඩුව කිසිදු සූදානමක්‌ නැත. එබඳු වුවමනාවක්‌ තිබුණා නම් රටේ දරුවන්ගේ උසස්‌ පෙළ ප්‍රතිඵල උත්තරයක්‌ නැති ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබියදී මේ වසරේÊඋසස්‌ පෙළ විභාගය පැවැත්වෙන කාලයම බලා මැතිවරණයකට යන්නේ ද නැත. මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පෙරේදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ උසස්‌ පෙළ විභාගයට බාධා වන අයුරින් ඡන්ද වැඩ තහනම් බවය. මැතිවරණ කොමසාරිස්‌වරයාට හෝ මේ මැතිවරණ සමයේ බරපතළකම වැටහී තිබීම පිළිබඳ අපි සතුටු වෙමු. එහෙත් 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක නොවන තත්ත්වයක කොමසාරිස්‌වරයාගේ නියෝග ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ යෑයි විශ්වාස කළ හැක්‌කේ කාටද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් පසුගිය 04 වැනිදා සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ද අඩාල වී ඇත. එහෙත් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු ආණ්‌ඩුවේ වන්දිභට්‌ට මාධ්‍ය උත්සාහ දරන්නේ එය සරසවි ආචාර්යවරුන්ගේ වරදින් සිදුවන්නක්‌ ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට ය. වෛද්‍යවරයා හෝa ගුරුවරයා වැඩ වර්ජනයක නියෑළීSම සමාජයෙන් පැසසුම් ලැබෙන්නක්‌ නොවන බව ඇත්ත ය. එහෙත් දේශපාලන අමනකම් හමුවේ තමන් නියෑළී සිටින ක්‍ෂේත්‍රය අනතුරේ වැටේ නම් නියම වෘත්තීයවේදියකුට අතපය අකුලාගෙන නිදන්නට හැකියාවක්‌ නැත. අද උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇත්තේ මෙබඳු අර්බුදයකි.

එහෙත් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ එහෙයියන් උත්සාහ කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු වැටුප් වැඩිවීම් ඉල්ලා අසාධාරණ ලෙස වැඩ වර්ජනයක යෙදෙන බව රටට පෙන්වා දෙන්නට ය. පසුගිය වසරේ ජුලි මාසයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පියවර කීපයක්‌ යටතේ වැටුප් වැඩිවීමක්‌ ලබාදීමට ආණ්‌ඩුව එකඟ වුවද මේ දක්‌වා එම පියවර සම්පූර්ණ කිරීමට පියවර ගෙන නැති නිසා වැටුප් සම්බන්ධයෙන් කතා කිරිමට ද ආචාර්යවරුන්ගේ සම්මේලනයට අයිතියක්‌ ඇත. එහෙත් මෙවර ආචාර්යවරුන්ගේ සම්මේලනය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීම් අතර ප්‍රමුඛතාව හිමිව ඇත්තේ වැටුප් නොව පොදුවේ රටේ උසස්‌ අධ්‍යාපනය ආරක්‍ෂා කරගැනීම සඳහා වූ ඉල්ලීම් කීපයකට ය.

ආචාර්ය සම්මේලනයේ යෝජනා අතර වන මුල්ම යෝජනාව වන්නේ ඉදිරි වසර දෙක තුළදී අධ්‍යාපනය වෙනුවෙන් රජය දරන වියදම දළ ජාතික නිෂ්පාදනයන් 6% ක්‌ දක්‌වා වර්ධනය කළ යුතු බවය.

මෙය අසාධාරණ ඉල්ලීමකැයි කිව හැක්‌කේ පෞද්ගලික විශ්වවිද්‍යාල ස්‌ථාපිත කොට කෝටි ගණනින් කොමිස්‌ මුදල් ගසා කන්නට හැකර කටවල් මානාගෙන සිටින්නවුන්ට ය. මන්ද රජය අධ්‍යාපනය සඳහා වන ප්‍රතිපාදන වැඩි කිරීම රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද ඉහළ යැමට හේතුවක්‌ වෙයි. එහිදී විශ්වවිද්‍යාල පද්ධතිය ද ඉහළට ඒම වැළැක්‌විය නොහැක. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ජාවාරම්කරුවන්ට එබඳු තත්ත්වයක්‌ හිතකර වන්නේ නැත. ඔවුන්ගේ අරමුණු ඉෂ්ට වන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආරවුල් මතුවන පමණටය. කනගාටුවට කාරණය නම් මේ ජාවාරම්වල යෙදෙන්නවුන් රටේ නිදහස්‌ අධ්‍යාපනයෙන්ම පෝෂණය ලබා ඉහළට පැමිණියවුන් වීමය. එක්‌ අතකට අපරාපරීය වේදනීය කර්ම" කියා කර්ම විපාක දෙන පිළිවෙළක්‌ ගැනත් බුදු දහමේ විග්‍රහ කරන හෙයින් මේ ජාවාරම්කරුවන් මෙසේ දේශපාලන හිවලුන් ලෙස හැසිරෙනුයේ එබඳු කර්ම විපාකයක ප්‍රතිඵල නිසා යෑයි කියා හිත හදාගන්නට අපට සිදුවෙයි.

ආණ්‌ඩුව මේ වන විට උසස්‌ අධ්‍යාපනය සඳහා වෙන් කරන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් 2% ක තරම් ප්‍රමාණයකි. 1998 වසරේදී අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3% ප්‍රමාණයක්‌ වෙන් කළ අතර මේ ආණ්‌ඩුව කර ඇත්තේ ඒ ප්‍රමාණය වැඩි කිරීම වෙනුවට අඩු කිරීමය. යුද්ධය වෙනුවෙන් ආණ්‌ඩුව වසරකට රුපියල් කෝටි පන්දහසකට ආසන්න මුදලක්‌ වැය කළ අතර දැන් යුද්ධය අවසන් බැවින් ඒ ප්‍රමාණය අඩුම තරමින් හරි අඩකින් හෝ අඩු විය යුතුය. එසේ අඩුවන ප්‍රමාණය රාත්‍රි මෝටර් රථ ධාවන තරගවලට හෝ බොලිවුඩ් ක්‍රීඩා සංදර්ශනවලට වැය කරනවාට වඩා රටේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනයේ ආයෝජනය කළ හැකි නම් ආණ්‌ඩුව ප්‍රශංසා ලබනවා පමණක්‌ නොව මහින්ද චින්තනය ද යථාර්ථයක්‌ බවට පත්වනවා ඇත.

විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීමෙන් වළක්‌වාලන ලෙස ද ආචාර්යවරුන්ගේ සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. මේ ඉල්ලීමට මාරාවේශ වූ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පවසන්නේ තමන් උත්සාහ කරන්නේද විශ්වවිද්‍යාල තුළ දේශපාලනය කිරීම අවසන් කිරීමට යෑයි අඳබාල තර්ක ගෙන ආවේය. ඔහුට අනුව විශ්වවිද්‍යාල දේශපාලනීකරණය වීම යනු ශිෂ්‍යයන් විසින් ශිෂ්‍ය සංගම් හරහා කරනු ලබන ක්‍රියාකාරකම් ය. නයාට අඳුකොළ මෙන් ජනතා විමුක්‌ති පෙරමුණ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට අඳුකොළ ය. එහෙයින් ජනතා විමුක්‌ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගම් මර්දනය කිරීම ඔහුගේ එකම අරමුණ ය. තමන්ට විරෝධය පානා සිසුන් අල්ලා හිරේ දාන්න තරම් මේ ඇමැතිවරයා ඔලමොල වී ඇත්තේ එහෙයිනි. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතිය නිසා අද වන විට කැලණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් ආණ්‌ඩුවේ සුවච කීකරු ආයතන බවට පත්ව සිටී. මේ තත්ත්වය කොයි තරම් බරපතළ ද යත් ආචාර්යවරුන්ගේ සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය පළ නොකොට තමන් සාර්ථකව අධ්‍යයන කටයුතු කරගෙන යන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කියා සිටී. පසුගිය මහ මැතිවරණ සමයේ, කැලණිය "ගඳගස්‌වන" එක්‌තරා දේශපාලකයකුගේ ප්‍රචාරක ව්‍යාපෘති මධ්‍යස්‌ථානය බවට පත්ව තිබූ කැලණිය විශ්වවිද්‍යාලය යළි "විද්‍යාලංකාර" යුගයට ඒ යෑයි බලාපොරොත්තු තැබීම අප මුලාවේ වැටීමකි. කැලණිය විශ්වවිද්‍යාලය පමණක්‌ නොව අනෙකුත් විශ්වවිද්‍යාල ද අධ්‍යයන කටයුතු අඩාල නොවී පවත්වාගෙන යයි නම් අප සතුටු විය යුතුය. එහෙත් දේශපාලන පාදඩකරණයට යටවී විශ්වවිද්‍යාලය නමැති චින්තන පර්ෂද වැඩවසම් යුගයට ගෙන යැම කිසිවකුටත් අනුමත කළ නොහැක. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති නිරමාල් රංජිත් දේවසිරි මහතා පස්‌සේ පන්නන්නේ ඒ පාදඩ දේශපාලනය ය. මේ නිසා කැලණිය විශ්වවිද්‍යාලයේ "කීකරු ආචාර්ය මණ්‌ඩලය" අද දවසේ ආරක්‌ෂා කරන ඊනියා ප්‍රතිපත්තිය අනාගතයේ රටේ උසස්‌ අධ්‍යාපනයේ මළගමට පාර කැපීමක්‌ බව නොකියා සිටින්නට නම් බැරිය.

පෞද්ගලික විශ්වවිද්‍යාල රටක අධ්‍යාපනය පරිහානියට පත්කරන බව කීමට තරම් අප අතාර්කික විය යුතු නැත. ඉන්දියාව තරම් පෞද්ගලික විශ්වවිද්‍යාල ස්‌ථාපිත කර ඇති රටක්‌ ලෝකයේ නොමැති තරම්ය. එහෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බොහෝ යුරෝපා රටවල එම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ආරක්‌ෂා කිරීම සඳහා නියාමන ක්‍රමයක්‌ පවත්වාගෙන යයි. ඒ තුළින් අදාළ විශ්වවිද්‍යාල උසස්‌ අධ්‍යාපනයේ පරාමිතීන් ආරක්‌ෂා කිරීමට අවශ්‍ය නිර්ණායකයන් සකසා ක්‍රියාත්මක කරයි. එහෙත් එබඳු කිසිදු ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් නොකොට ආණ්‌ඩුව උත්සාහ කරන්නේ උපාධි කඩ පවත්වාගෙන යැමටය.

අද ජාත්‍යන්තර පාසල්වලටද අත්ව තිබෙන්නේ මෙබඳු ඉරණමකි. ආණ්‌ඩුව විසින් පාසල් අධ්‍යාපනය සඳහා ලබාදෙන ප්‍රතිපාදන අවම කර ඇති නිසාත්, ලබාදෙන ප්‍රතිපාදන විෂම ලෙස බෙදා හැරීම නිසාත් රජයේ පාසල් දිනෙන් දින වැසීයැමේ අනතුරකට පත්ව ඇත. පළමු ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීමට මේ වනතුරුත් නිසි වැඩපිළිවෙළක්‌ සකසා ගැනීමට නොහැකිවීම නිසා දෙමාපියන් කරනුයේ පාසලක්‌ නැති දරුවා හිඟා කා හෝ "ජාත්‍යන්තර පාසල් කඩයකට" දමා ඉගැන්වීමය. අධ්‍යාපනය තුළ දිනෙන් දින මෙබඳු අර්බුද ඇති කිරීමෙන් දරුවන්ගේ එම අධ්‍යාපන අයිතිය උදුරා ගන්නටද මේ ආණ්‌ඩුව කටයුතු කර ඇති බවයි කියන්නට සිදුවන්නේ.

රටේ අධ්‍යාපනය මෙබඳු අවුල් ජාලාවක්‌ බවට පත්කොට තිබියදීත් ඒ අවුල්, අවුල් ම බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබියදීත් ඊට වගකිවයුතු අධ්‍යාපන ඇමැතිවරයාත් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාත් කරන්නේ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමය.

පකිස්‌තාන ජනාධිපති අසප්f අලි සර්දාරිගේ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් පියවර නොගැනීමට එරෙහිව පකිස්‌තානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා පකිස්‌තානු අගමැති යූසුප්f  රාසා ගිලානි තනතුරින් පහ කළේය. ඊට දින කීපයකට පසු දූෂණ චෝදනා එල්ලවූ ඉන්දීය සුළු හා මධ්‍යම කර්මාන්ත ඇමැති වීරබද්රා සිං ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූයේ ය. වරදට නිසි දඬුවම් දෙන එබඳු අධිකරණ පද්ධතියක්‌ දේශපාලන විහිළුකාරයන් බවට පත් නොවී වරද පිළිගෙන ඉවත්වන දේශපාලන සංස්‌කෘතියක්‌ කවදා මේ රටේ ඇතිවේ දැයි අපට ඇත්තේ හීනයකි.

No comments:

Post a Comment