Thursday, July 12, 2012


දේශපාලනයේ අනාථභාවය හා

නීතියේ සුජාතභාවය





රෝයල් පාර්ක්‌ ඝාතනය සම්බන්ධයෙන් පෙරේදා (11 වැනිදා) අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව රට පුරා අවධානය දිනාගත් බවට සැකයක්‌ නැත. කෙළවරක්‌ නැති ළමා අපයෝජන සිද්ධීන් හා "ජනමත නායකයන්" ඒවායේ චූදිතයන් බවට හෙළිදරව් වන පසුබිමක ඒ හා සමාන අපරාධයක චූදිතයකුට එරෙහිව දී තිබූ සිරදඬුවමක්‌ මරණ දඬුවමක්‌ බවට පත් කිරීම අධිකරණය පිළිබඳ ජනතා බලපොරොත්තු දල්වන්නකි.

රාජගිරිය රෝයල් පාර්ක්‌ නිවාස සංකීර්ණයේදී ස්‌වීඩන් ජාතික තරුණියක මරා දැමීමට එරෙහිව විත්තිකාර 26 හැවිරිදි තරුණයාට එරෙහිව මීට ඉහතදී කොළඹ මහාධිකරණය විසින් අවුරුදු 12 ක සිරදඬුවමක්‌ හා රුපියල් ලක්‍ෂ 3 ක දඩයක්‌ නියම කළේය. එහෙත් මෙම තීන්දුවෙන් තමන් අගතියට පත්ව ඇතැයි කියමින් නීතිපතිවරයා විසින්, විත්තිකරු මිනීමැරුම් චෝදනාවට වරදකරුවකු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක්‌ සලකා බැලීමෙක්‌ පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් විණි. අදාළ අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වූ අවස්‌ථාවේ අධිකරණ ශාලාවේ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කීපදෙනකුම පවසා ඇත්තේ මෙබඳු තීන්දුවක්‌ මීට ඉහතදී අභියාචනාධිකරණයකින් ප්‍රකාශයට පත් වී නැති බවයි. මිනීමැරුම් නඩුවක විත්තිකරුවකුට මහාධිකරණය නියම කළ සිරදඬුවමක්‌ අහෝසි කර ඒ වෙනුවට මරණ දඬුවමක්‌ නියම කළ ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු අවස්‌ථාව මෙය බව එම නීතිඥවරුන් ප්‍රකාශ කළේ යෑයිද ඊයේ (12 වැනිදා) "දිවයින" ප්‍රධාන ප්‍රවෘත්තියෙන් අනාවරණය කෙරිණි.

අදාළ නීතිඥවරුන් කළ ප්‍රකාශ ප්‍රවෘත්තියේ සඳහන් කෙරෙන්නේ එම ප්‍රකාශවලද ප්‍රවෘත්තිමය වටිනාකමක්‌ ඇති බැවිනි. එය සැබෑවකි. දැන් රට ඉල්ලා සිටින්නේ මෙබඳු අධිකරණයකි. ළමයින්ට එරෙහි ලිංගික අතවර, හිංසන ක්‍රියා, කාන්තාවන්ට එරෙහි අතවර, ප්‍රචණ්‌ඩත්වය, පුරාවස්‌තු කොල්ලකෑම්, රාජ්‍ය ආයතනවල අල්ලස, දූෂණය, දේශපාලකයන් විසින් ජාතික ධනය කොල්ලකෑම ආදී කෙළවරක්‌ නැති සමාජ විරෝධී ක්‍රියාවලින් අද රට පවතින්නේ විනාශයේ මුවවිටය. මේ සමාජ විකෘතියට පිළියම් සෙවීමට පෙරමුණ ගන්නා නායකත්වයක්‌ ගව්ගණනක්‌ දුර හෝ ඇති බවක්‌ පෙනෙන්නට නැත. එහෙයින් පවතින සමාජ විකෘතියෙන් හේබා ගොස්‌ තිබෙන රටට රෝයල් පාර්ක්‌ නඩු තීන්දුව කිසියම් අස්‌වැසිල්ලක්‌ වේ යෑයි නොකියා සිටින්නේ කොහොමද?

මීළඟට මෙම තීන්දුව ලබා ගැනීම සඳහා මුල් වූ නීතිපති දෙපාර්තමේන්තුවටත් ස්‌තුතිය පළකළ යුතුය. මන්ද පෞද්ගලික ආරවුලක්‌ මත සිදුවූ මනුෂ්‍ය ඝාතනයක්‌ වුවද අගතියට පත් පාර්ශ්වයට සාධාරණය ඉටු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම අදාළ මහාධිකරණ තීන්දුවට විරුද්ධව අභියාචනාධිකරණයට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීම නිසාය. නීතිපති දෙපාර්තමේන්තුවේ මැදහත් වීම නොවන්නටත් අභියාචනාධිකරණයේ තීන්දුව නොවන්නටත් අපරාධයක බරපතළකම සමාජයට නොදැනෙන්නට ඉඩ තිබිණි.

එහෙත් රෝයල් පාර්ක්‌ නඩු තීන්දුවෙන් නීතියේ සුජාතභාවය හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ සුජාතභාවය තහවුරු වී ඇතැයි අපට කිව හැකිද යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. මන්ද මේ රටේ නීතිය ඉදිරියේ වරදකරුවන් බවට පත් විය යුතු බොහෝ දෙනෙක්‌ ඉදිරියට නොපැමිණි අවස්‌ථා පමණක්‌ නොව, නීතිය ඉදිරියේ දඬුවම් ලැබූවත් දඬුවම් නොවිඳ සිටින අවස්‌ථාවන් අප ඕනෑ තරම් අත්දකින බැවිණි. එහිදී බෙහෝ විට නීතිය සැමට සාධාරණව එක සේ ක්‍රියාත්මක වනවා ද යන සැකය, අපට තිබේ. කනගාටුදායක තත්ත්වය නම් දඬුවම් විඳිය යුතු බොහෝ චූදිතයන් චෝදනාවලින් නිදහස්‌ වී යන්නේ රෝයල් පාර්ක්‌ ඝාතන නඩුවේ මහාධිකරණ තීන්දුව ප්‍රමාණවත් නැතැයි කියා අභියාචනාධිකරණය වෙත ගිය මේ නීතිපති දෙපාර්තමේන්තුව නිසාම වීමය. ඒ බව තහවුරු කෙරෙන ආසන්නතම නඩු විභාගයක්‌ පසුගිය 10 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී පැවැත්විය. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයන් කීපදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන එම මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයේ දී රහස්‌ පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරී ශානි අබේසේකර කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයේ විමර්ශන කටයුතු අවසන් කර එහි උධෘත පසුගිය ජනවාරි මස 27 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් ඉදිරි කටයුතු සඳහා මේ වනතුරුත් නීතිපති උපදෙස්‌ ලැබී නැති බවයි.

නාම්පමුණුව සමුපකාර ඡන්දයේ මිනිස්‌ ඝාතනයට චූදිතයකු බවට පත්වූ චන්දන කත්‍රිආරච්චිගේ අධිචෝදනා පත්‍ර ඉවත් කරගෙන ඔහුට එරෙහිව පහරදීමේ චෝදනා සහිත සංශෝධිත චෝදනා පත්‍රයක්‌ භාර දුන්නේද මේ නීතිපති දෙපාර්තමේන්තුව වීමය. පුද්ගලයා අනුව නීතිය නිර්වචනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට යම් අධිකාරීත්වයක්‌ ඇත්ද යන්න අපි නොදනිමු. එහෙත් රෝයල් පාර්ක්‌ ඝාතන සිද්ධිය වෙනුවෙන් පෙනී සිටියා සේ අනෙකුත් බරපතළ අපරාධ සම්බන්ධයෙන්ද නීතිපති දෙපාර්තමේන්තුව සිය වගකීම ඉටුකරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. එසේ නොවුණහොත් සිදුවන්නේ සමාජය රටේ නීතිය අවතක්‌සේරුවට ලක්‌ කිරීමය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සිට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එක්‌වූ ඇතැම් දේශපාලකයන්ට එරෙහිව තිබූ වංචා දූෂණ චෝදනා ද ඉල්ලා අස්‌කර ගත් අවස්‌ථා ඕනෑ තරම්ය. පසුගියදා සිදුවූ කටුවන ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකාර ජුලම්පිටියේ අමරේ සිද්ධියෙන් දින 5 කට පසු අධිකරණය වෙත භාර වූයේද ඔහුට එරෙහිව මීට වසර 9 කට පමණ පෙර නිකුත් කළ වරෙන්තුවකට අනුවය. මෙබඳු සිදුවීම් රටේ නීතිය හෑල්ලුවට ලක්‌ කරවන දේ බව නොකියා බැරිය. එහෙයින් රෝයල් පාර්ක්‌ ඝාතන නඩුවට තැබූ බරම අනෙකුත් අපරාධ ක්‍රියා සම්බන්ධයෙනුත් තැබිය හැකි නම් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පිළිබඳ කා තුළත් පැහැදීමක්‌ ඇති වනු ඇති බව අපේ හැඟීමයි.

ළමා අපයෝජන සිද්ධීන් වාර්තා වන්ගේ ඉහළ යැමත් සමග එම තත්ත්වය පාලනයට ආණ්‌ඩුව ගන්නා පියවර කුමක්‌ද යන්න ජනතාව බලා සිටී. රෝයල් පාර්ක්‌ බඳු නඩු තීන්දුවක්‌ එබඳු බලාපොරොත්තුවකට කොළ එළි දල්වන්නක්‌ වුවත් මේ ආණ්‌ඩුව යටතේ නීතිය සියල්ලන්ටම සාධාරණව ක්‍රියාත්මක වනවාද යන ප්‍රශ්නයක්‌ කාටත් ඇත. බොහෝවිට ආණ්‌ඩුවේ දේශපාලකයන් සම්බන්ධයෙන් හෝ එම දේශපාලකයන්ගේ හිතවතුන් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ උදාහරණ ඕනෑ තරම්ය. පරණ යකඩ වංචනික ලෙස විකිණීම සම්බන්ධයෙන් චෝදනාවට වරෙන්තු පිට වරෙන්තු නිකුත් කර තිබියදීත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූ එක්‌තරා රූපවාහිනි ආයතනයක මාධ්‍යවේදියකු කිසිදු අතුරු ආන්තරාවක්‌ නැතිව අධිකරණයද මග හරිමින් සිටින ආකාරය ලඡ්ජා සහගතය. මේ ආකාරයටම එක්‌තරා මිනීමැරුම් සිද්ධියකට අධිකරණයෙන් වරදකරු කළ ඇමැති බිරියකට ජනාධිපති සමාව ලැබුණු ආකාරයද අපි දුටිමු. මේ රටේම නගර සභාවක මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බරපතළ සිරදඬුවමකට යටත් වූ එක්‌තරා නගරාධිපතිවරයකු බන්ධනාගාරයට යැමට ද පෙර ජනාධිපති සමාව ලැබුණු අයුරු රටම දනී. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේම ක්‍රියාකාරී දේශපාලකයකුව සිටි නාලන්ද එල්ලාවල මහතාගේ ඝාතනයට වගකිව යුතු එක්‌තරා දේශපාලකයකු නීතිය ඉදිරියේ වරදකරුවකු වීම කෙසේ වුවත් පක්‌ෂය මාරු කර ඇමැතිකමක්‌ ලබා යහතින් වැජඹෙන අයුරු රටම දනී.

මේ ආණ්‌ඩුවේ සිටින බොහෝ දේශපාලකයන්ට එරෙහිව එබඳු අපරාධ චෝදනා දූෂණ චෝදනා කොතෙක්‌ වුවත් ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වනවා තබා පක්‌ෂය තුළින් විනය චෝදනා එල්ලවීමක්‌ හෝ සිදු නොවීම පුදුම සහගතය. 

මේ තත්ත්වයන්සේ අපට සැක සිතෙන්නේ රට තුළ නීතිය කාටත් එක සේ ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳවය. රෝයල් පාර්ක්‌ ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත් නීතියේ සුජාතභාවය ආරක්‌ෂා කිරීමටත් නීතිපති දෙපාර්තමේන්තුව කළ මැදිහත්වීම ඉහතින් දැක්‌ වූ සිදුවීම් සම්බන්ධයෙන්ද මේ අයුරින්ම සිදු වී නම් වඩාත් අර්ථවත් බවය අප කල්පනා කරන්නේ. එහෙත් එබඳු සද්භාවයක්‌ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට අපේක්‌ෂා කළ හැකිද යන්න පිළිබඳ ඇත්තේ සැකයකි.


divaina-13-July-2012

No comments:

Post a Comment