Thursday, July 12, 2012


චින්තන මර්දනය



අද මෙම අතිරේකයේ පළ කෙරෙන විශ්වවිද්‍යාල අර්බුදය පිළිබඳ ප්‍රශ්නය ගැන සඳහන් චින්තක රණසිංහගේ ලිපිය හා සාහිත්‍ය, කලාව හෝ සංස්‌කෘතිය අතර සම්බන්ධය කුමක්‌දැයි සෙවීමට බොහෝ දෙනකු වෙහෙසෙනු ඇති බව නිරෝධ හොඳින් ම දනී. එහෙත් යමෙක්‌ එසේ කල්පනා කළ ද නිරෝධ ඒ ගැන පුදුම නොවෙයි. මන්ද අද දවසේ අප ගත කරන්නේ එපමණට "නිර්වින්දනය" කළ සමාජ යථාර්ථයක වීම නිසා ය. යුද ජයග්‍රහණයත් සමඟ රටේ සියලු ක්‍ෂේත්‍රවල අයිතිය භුක්‌තියට ලියා ගත් දේශපාලන අධිකාරීත්වය බුවල්ලකු සේ සියලු තන් අරා සිය අඬුපඬු විහිදා ග්‍රහණය කොටගෙන සිටී. එහි අනිටුඵල ලෙස කොතෙකුත් සිදුවන සමාජ, ආර්ථික, සංස්‌කෘතික පරිහානිදායක තත්ත්වයන් කතා කිරීම යනු එක්‌කෝ බටහිර කුමන්ත්‍රණකරුවකු වීමකි. නැත්නම් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවකු වීමකි. එබඳු ලේබලයක්‌ අලවා ගැනීම ජීවත් වීම පිළිබඳ සියලු වරප්‍රසාද අහිමි කරගැනීමකි. එහෙයින් සියලු සමාජ මතවාදී කණ්‌ඩායම්වල අද දවසේ ප්‍රතිපත්තිය "දෙන දෙයක්‌ කා වෙන දෙයක්‌ බලාගෙන සිටීම"යි.



මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය කෙරේ සහ නිදහස්‌ අධ්‍යාපනය කෙරේ පැහැදිලි අනතුරක්‌ පවතී. ඒ අනතුරේ බරපතළකම හඳුනාගත් ආචාර්යවරු පිරිසක්‌ පාලකයන්ගේත් ජනතාවගෙත්a අවධානය ඒ වෙත යොමු කරවීමට උත්සාහ කරද්දී ආචාර්ය මහාචාර්යවරුන්ම කියා ගන්නා පිරිසක්‌ බඩගෝස්‌තරවාදී දේශපාලනික වුවමනාවන් සාධාරණීකරණය කරන ප්‍රකාශ නිකුත් කරමින් සිටී. තමන් ආචාර්යවරුන්ගේ සංගමයේ වැඩවැරුමට සහාය පළනොකරනවා යෑයි කියා ගන්නා එම ආචාර්ය, මහාචාර්ය හා කථිකාචාර්යවරුන් කවුරුන්දැයි නිරෝධ හොඳින් විමසා බැලුවේය. ඇතැමුත් සුදුසුකම් කෙසේ වෙතත් පවතින පාලන ක්‍රමයට ආවඩා උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, අධ්‍යයනාංශ ප්‍රධානීන් වූවන් බව පැහැදිලි විය. ඔවුන්ගේ පැවැත්ම තහවුරු වනුයේ දක්‍ෂකම් මත ගොඩනැඟි පෞරුෂය නිසා නොව වැඩවසම් චින්තනය ප්‍රගුණ කරනට පළ කරන හැකියාව මත බවය නිරෝධට වඩාත් පැහැදිලි වුණෙ.


ලියනගේ අමරකීර්තිගේ "අර මිහිරි සීනු නාදය" කෙටිකතා පොතත්, චින්තක රණසිංහගේ "පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන" නවකතාවත් කියෑවූයේ නම් අද්‍යතන විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ (සියල්ලන්ම නොවේ) යථාර්ථය හොඳින්ම අවබෝධ කරගත හැකි වනු ඇත. මේ පොත්වල කවරය පමණක්‌ හෝ පොතේ නම පමණක්‌ කියවා පූර්ව නිගමනවලට නොඑළැඹී විවේක මනසින් යුතුව මේ කෘති දෙක කියෑවිය හැකි නම් අප විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ඇහුම්කන් දිය යුත්තේ ඇයි ද යන්න පිළිබඳ ද යම් තාර්කික අදහසක්‌ ගොඩනඟා ගතහැකි වනු ඇතැයි නිරෝධගේ අදහසයි. කොහොම වෙතත් මේ රචනාවෙන් නිරෝධ උත්සාහ කරන්නේ විශ්වවිද්‍යාලය තුළ සිදුවන චින්තන මර්දනය පිළිබඳ අවධානය යොමු කිරීමටයි.

විශ්වවිද්‍යාලය හා විද්‍යාර්ථියා වූ කලී සමාජයක චින්තන උල්පත ලෙසය නිරෝධගේ විග්‍රහය. අ.පො. ස උසස්‌ පෙළ දක්‌වා විෂය නිර්දේශයටත්, අමතර පංති නිබන්ධනයටත්, ආදර්ශ ප්‍රශ්න පත්‍රයටත් රාමුගත වන ශිෂ්‍යයා නිදහස්‌කාමීව සිතන්නකු බවට පත් වනුයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමත් සමඟ ය. ප්‍රධාන ගේට්‌ටුවේ පටන් නේවාසිකාගාරය දක්‌වා භෞතිකව ද විශ්වවිද්‍යාලය සැලසුම් කොට ඇත්තේ ශිෂ්‍යයාගේ නිදහස්‌ චින්තනයට අසීමිත ඉඩකඩක්‌ වෙන්වෙන ආකාරයටය. පාසලක රාමුගත අධ්‍යාපනයට සමු දී විශ්වවිද්‍යාලයට පැමිණෙන ශිෂ්‍යයනට මේ වෙනස, නිදහස නොදැනේ නම් ඔහු හෝ ඇය විද්‍යාර්ථියකු ද යන්න සැකයකි. ඒ නිදහස තුළින් ගොඩනඟන චින්තකයින් රටේ පෙරටුගාමීන් බවට පත්වනුයේ නිරායාසයෙනි. එහෙත් අද විශ්වවිද්‍යාලය එබඳු චින්තන පර්ෂදයක්‌ ද යන සැකය නිරෝධට උපදී. එහි වරද විශ්වවිද්‍යාල ක්‍රමයේ නොවන බව නම් පැහැදිලිව කිව යුතුය. අන් කවරදාකටත් වඩා විශ්වවිද්‍යාල පද්ධතිය තුළට දේශපාලන අතපෙවීම් සිදුවන නිසා සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියම කුණු වෙන්නට පටන් ගෙන ඇති බවය පෙනෙන්නේ. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පාදුවේ පටන් උසස්‌ අධ්‍යාපනය මිලිටරිකරණය කරන ඊනියා නායකත්ව පුහුණු වැඩසටහන් සඳහා අනවශ්‍ය මුදල් වෙන් කිරීම දක්‌වා අතිශය මුග්ධ වූ දේශපාලනික අතපෙවීම්වලින් අද අපේ විශ්වවිද්‍යාලය එක්‌තරා දේශපාලන පක්‍ෂයක පක්‍ෂ කාර්යාලය බවට පත්ව ඇතැයි කීවොත් වඩාත් නිවැරදිය.

ආචාර්යවරුන්ගේ වැඩවැරුම පසෙක තබා ඔවුන් රටේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන්, විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කිරීම වළක්‌වාලීම වෙනුවෙන් කරන ඉල්ලීම් පිළිබඳ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාට ඇත්තේ කෙබඳු අවබෝධයක්‌ දැයි විමසා බැලිය යුතුව ඇත.

ශිෂ්‍ය සංගම් නිලවරණවලදී දෙපිල බෙදී ගඩොල් කැට හුවමාරු කර ගන්නා එකදු ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයෙක්‌ හෝ ආචාර්යවරුන් රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රකාශයන් කරනු නිරෝධ දුටුවේ නැත. ඇතැම් විට නායකත්ව පුහුණුව විසින් අද විශ්වවිද්‍යාල සිසුවා "අණට" කීකරු කොට තිබීම මීට හේතු වුණාද යන්න නොදනිමි. කෙසේ වුවත් මෙයින් පැහැදිලි කරන්නේ අද විද්‍යාර්ථියා තමන් ගැනම අවිඥනක වී ඇති බවය. නිරෝධ දකින්නේ මෙයම අනාගතය පිළිබඳ අනතුරක්‌ ලෙසය. පසුගිය කාලයේ එක්‌තරා විශ්වවිද්‍යාලයකට අලුතින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වැඩි පිරිසක්‌ කියවා තිබූ නවකතාව බවට පත්ව තිබුණේ එක්‌තරා හරසුන් බොළඳ නවකතාවකි. තවත් විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථින් සුපිරි තරුවක්‌ වූ ආධුනික ගායකයකු ගෙන්වා නාඩගමක්‌ නැටූ අයුරුද රටම දනීs. නිරෝධට මෙබඳු දේ සිහිපත් වූයේ අද දවසේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගේ භූමිකාව පිළිබඳ විමසා බලන කලය.

මෙයින් පැහැදිලි වන්නේ සිතීමේ ශක්‌තිය බිඳුවක්‌ හෝ සුරැකී තිබූ විශ්වවිද්‍යාලයෙන්ද එය ගිලිහී ගොස්‌ ඇති බවය. උසස්‌ පෙළ ශිෂ්‍යයන්ගේ අනාගතය අවිනිශ්චිත කරමින් ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය පිළිබඳ කිසිදු පලදායක පියවරක්‌ නොගෙන තිබීමත්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කෙනෙහිලිකම් කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ආවැඩීමත් එළිපිට සිදුවෙද්දී ඊට විරෝධය පා පෙරමුණ ගන්නා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග එක පෙළ සිට ගැනීම කෙසේ වේවා අඩුතරමින් ඔවුන් පසුපසින් පෙළ ගැසෙන්නට හෝ විඥනයකින් යුතු විශ්වවිද්‍යාල විද්‍යාර්ථියකු අද නැත. මේ පෙන්වා දෙන්නේ චින්තන මර්දනයක අති සූක්‍ෂම සැලසුම් සාර්ථක වන ආකාරය ය.

විශ්වවිද්‍යාලය හා විද්‍යාර්ථියා චින්තනයෙන් මොට වූ කල රටක සාහිත්‍යයත්, කලාවත් සංස්‌කෘතියත් කෙසේ නම් ඉහළට ඔසවා තැබිය හැකිවේද යන්න නිරෝධට ඇති ගැටලුවය.
watamadala-12-July-2012

No comments:

Post a Comment