Wednesday, July 4, 2012



පශ්චාද් යුද සමයක සාහිත්‍ය කරුවාගේ භූමිකාව


දශක තුනකට වැඩි වාර්ගික යුද්ධයක සහ වසර තුනකට වැඩි පශ්චාත් යුද සමයක අත්දැකීම් ලද මේ රටේ සාහිත්‍ය, කලා ක්‌ෂේත්‍රයන් තුළ ඒ පිළිබඳ කෙරුණු සංවාදය ගුණාත්මක නොවූ බවය නිරෝධගේ හැඟීම. යම් යම් ලේඛකයන්, නාට්‍යකරුවන් මෙන්ම සිනමාකරුවන් අගය කළ යුතු මට්‌ටමින් මැදිහත්වීම් කළ බව අමතක කළ යුතු නොවේ. එහෙත් එම මැදිහත්වීම් පිළිබඳ වුවද සාරවත් සංවාද ගොඩනැගීමට මෙරට ක්‍රියාකාරී සාහිත්‍ය කලා සමාජය තුළ ප්‍රමාණවත් අවකාශයක්‌ නොවීය. වාර්ගික ගැටලුව මුල්කොට ගනිමින් ගොඩනැගි ම්ලේච්ඡ ත්‍රස්‌තවාදයට යුදමය වශයෙන් සාර්ථක විසඳුමක්‌ ලැබුණ ද දේශපාලනික හා සාමාජීය වශයෙන් තිරසාර විසඳුමක්‌ සොයා ගැනීමට අපට තවමත් නොහැකි වී ඇත. නිරෝධ කල්පනා කරන්නේ එක්‌තරා ආකාරයකින් මෙරට සාහිත්‍ය කලා සමාජය ද ඊට වගකිව යුතු බවය.

යුද සමය තුළ බොහෝ කොට සිදු වූයේ එක්‌කෝ අතිශය සිංහල විරෝධී ලෙස නිර්මාණකරණයේ යෙදීමය. නැතිනම් අතිශය දෙමළ විරෝධී ලෙස නිර්මාණකරණයේ යෙදීමය. ඇතැම් සාහිත්‍ය කලා ක්‍රියාකාරිකයන් මේ ප්‍රශ්නය අවිචාරවත් ලෙස පරිහරණය කරමින් සිංහල, දෙමළ භේදයකින් තොරව සමස්‌ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම කළ හානිය අතිශය බරපතළ විය.

යුද සමය තුළ නිරෝධ බොහෝ විට දුටුවේ සිනමා කරුවන් විසින් වාර්ගික අර්බුදය අනුභූතියක්‌ කොට ගන්නා ආකාරයයි. අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ බඳුÊසිනමාකරුවන් එහිදී ප්‍රශස්‌ත මැදිහත්වීමක්‌ කළ බව අමතක කළ නොහැක. ප්‍රසන්නගේ "ඉරමැදියම" චිත්‍රපටය යුද සමය තුළ ප්‍රස්‌තුතය සංයමයකින් යුතුව සාකච්ඡා කළ කේන්ද්‍රීය සිනමා කෘතියක්‌ ලෙසය නිරෝධ කල්පනා කරන්නේ. 'ඉරමැදියම' එබඳු සුවිශේෂී සිනමා කෘතියක්‌ බවට පත් වනුයේ ප්‍රචාරකවාදයෙන් බැහැරව පරිණත සමාජ විශ්ලේෂකයකු ලෙස අධ්‍යක්‌ෂවරයා පළ කළ ප්‍රතිභාව හේතුවෙන් බවය නිරෝධ විශ්වාස කරන්නේ.

කෙසේ හෝ වසර තුනක පමණ කාලයක පටන් යුද්ධයක බිහිසුණු බවින් අපි අත්මිදී සිටිමු. එහෙත් ඒ බිහිසුණු යුද්ධයට පාර කැපූ වාර්ගික අනවබෝධය විසඳී නැත. එමෙන්ම යුද ජයග්‍රහණයේ අතුරුඵලයක්‌ ලෙස උපන් දේශපාලනික විකෘතියද බූවල්ලකු සේ සමස්‌ත සමාජයම ග්‍රහණයට හසුකර ගනිමින් සිටී. සාහිත්‍යකරුවාට මෙන්ම කලාකරුවාටද මේ යථාර්ථය විනිවිදීමට හැකිවිය යුතු බව නිරෝධ කල්පනා කරයි.
නිරෝධ මෙසේ අදහස්‌ කරන විට යමකු කල්පනා කළ හැක්‌කේ යුද, පශ්චාත් යුද හෝ සමාජ, දේශපාලන විකෘතීන් ගෙන් තොර සාහිත්‍ය කලාවක්‌ පැවැතිය නොහැකිද යන්න ය. එබඳු තර්කයක්‌ පැනනැඟේ නම් එහිද අනර්ථයක්‌ නැතැයි නිරෝධ අදහස්‌ කරයි. එහෙත් සාහිත්‍ය - කලාව උත්කර්ෂයට නැංවිය හැක්‌කේ නිර්මාණකරුවා මෙන්ම එය විඳින සහෘද සමාජය ද විවේකී මනසකින් පසුවේ නම් පමණි. සිංහල සාහිත්‍යයේ ස්‌වර්ණමය යුගය ලෙස පැසසුම් ලබනුයේ කෝට්‌ටේ සාහිත්‍ය යුගය ය. කෝට්‌ටේ යුගය ඉතිහාසය තුළ එබඳු කීර්තියක්‌ අත්පත් කොට ගත්තේ එසමය සමාජ ආර්ථික හා දේශපාලනික වශයෙන් යහපත් වාතාවරණයක පසු වූ නිසාය.II වැනි පැරකුම්බා බඳු නරපතියකු අතින් "කව්සිළුමිණ" බඳු මහා කාව්‍යයක්‌ ලියෑවීම ම ඒ බව පසක්‌ කරයි.

නුමුත් නිරෝධ අත්දකින අද්‍යතන සමාජය එබඳු සාහිත්‍ය - කලා මංගල්ලයකට ඉඩ හසර දේද යන්න සංවාදයකට බඳුන් විය යුතු කාරණයකි.

2010 දී පළවූ ප්‍රභාත් ජයසිංහගේ 'වයඹදිග වැසියකු ගේ දින සටහන්' නම් කෙටිකතා සංග්‍රහයේ එන 'වයඹදිග වැසියකුගේ දින සටහන් නම් වූ' කෙටිකතාව ඔස්‌සේ වාර්ගික අර්බුදය තුළ මනුෂ්‍යත්වය උත්කර්ෂයට නැංවූ ආකාරය නිරෝධ දුටුවේය. තමන්ගේ අනන්‍යතාව සඟවාගෙන ජීවත්වීම තරම් තවත් පීඩාවක්‌ මනුෂ්‍යයකුට ඇත්දැයි සිතන්නට එම කෙටිකතාව තුළ පාඨකයාගේ ඥාන මණ්‌ඩලයට අවකාශ සලසා දෙයි.

එබඳුම උත්තේජනයක්‌ පාඨකයා තුළ ඇති කළ හැකි ආකාරයේ කෘති දෙකක්‌ කියවා අවසන් කිරීමට පසුගිය සති දෙක නිරෝධ ඉඩකඩ ලද්දේය. ලියනගේ අමරකීර්තිගේ 'අර මිහිරි සීනු නාදය' කෙටිකතා සංග්‍රහය මෙන්ම ගුණසේකර ගුණසෝම ගේ 'සරක්‌කුව' නවකතාව එම කෘති දෙකයි. අමරකීර්ති සිය කෙටි කතා සංග්‍රහයේ එන 'අලුත් ලෙච්චමී' කෙටි කතාව ඔස්‌සේ පුද්ගල අනන්‍යතාව පිළිබඳ පාඨකයාගේ හෘද සාක්‌ෂියට සංඥා කරන්නේ අතිශය නැවුම් ප්‍රබන්ධකරණයකිනි. මේ කෙටිකතාව, පාඨකයාට තමන් සමගම සංවාද කරනට අවැසි අනුපාන සපයයි.

'සරක්‌කුව' එල්. ටී. ටී. ඊ ත්‍රස්‌තවාදය පසුබිම් කොටගෙන මෙතෙක්‌ බිහි වූ නිර්මාණ අතරින් වඩාත් විශ්වසනීය වූ නිර්මාණයක්‌ සේ සැලකිය හැක. කතුවරයා ලද ජීවිත අත්දැකීම් මෙන්ම දෙමළ ජාතික හිතවතුන්ගෙන් ලද තොරතුරු ද ප්‍රබන්ධය සඳහා පාදක වී ඇති හෙයින් ත්‍රස්‌තවාදය හේතුවෙන් දෙමළ සමාජය ලද පීඩනය දකුණේ ජනතාව කෙරේ වූ පීඩනයට වඩා බලවත් වූ බව පැහැදිලි වෙයි. තත්‍ය සිදුවීම් මත පදනම්ව රචනාව පෙළ ගැස්‌සුවද දකුණේ ජීවත් වුවත් උතුරේ ජීවත් වුවත් මේ රටේ ජනතාවට ජීවත්වීම පිළිබඳ පොදු ප්‍රශ්නයක්‌ ඇති බව කියාපෑමට කතුවරයා යටිතලයෙන් ගෙන යන සංවාදය ප්‍රශස්‌තය. නවකතාවේ අවසානයේදී කතුවරයා විසින් පාඨකයා තදින් ග්‍රහණය කොට ගන්නේ මතුපිටින් කතන්දර කරුවකුගේ නිසඟ හැකියාව ප්‍රකට කරමින් වුවත් මේ සමාජ අර්බුදය පිළිබඳ සියල්ලන්ට වගකීමක්‌ ඇති බව හදවතට තට්‌ටු කර කීමෙනි.

අශෝක හඳගමගේ ඉනි-අවන් චිත්‍රපටයත්, රාජිත දිසානායකගේ 'බකමූණා වීදි බසී' වේදිකා නාට්‍ය හා පියල් කාරියවසම්ගේ 'රහස්‌ උදවිය' වේදිකා නාට්‍යයත් ඒ ඒ කෘතියේa සන්දර්භයට අනන්‍ය වෙමින් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුදසමය පිළිබඳ අලුත් සංවාදයකට ආරාධනා කරයි. අවාසනාව නම් ඊට මැදිහත් විය හැකි ප්‍රශස්‌ත විචාරක පරපුරක්‌ නැති කමය.


watamadala-05-July-2012

No comments:

Post a Comment