Tuesday, August 7, 2012


පත්තරකාරයා පාරිශුද්ධද?


සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සංස්‌කාරක කරුණාදාස සූරියආරච්චිගේ අලුත්ම නවකථාව "මම තවම යමි" දොරට වැඩීම නිමිත්තෙන් පසුගියදා මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයේ දී මෙරට ජනමාධ්‍යවේදියා පිළිබඳ ගොඩනැඟි සංවාදය කිනම් අරමුණකින් සිදු වුව ද එය අද දවසට අත්‍යවශ්‍ය සංවාදයකැයි නිරෝධගේ අදහසයි. සූරියආරච්චිගේ නවකථාව පිළිබඳ සංවාදයකට වඩා ජනමාධ්‍යවේදියාගේ පාරිශුද්ධත්වය කිරා මැන බැලෙන සංවාදයකට දේශකයන් යොමුවන්නට ඇත්තේ ලේඛකයා ජනමාධ්‍යවේදියකුත් පුවත්පතක ප්‍රධාන සංස්‌කාරකවරයකුත් නිසා විය හැක.

සාමාන්‍යයෙන් ලංකාවේ පොත් දොරට වැඩීමක දී ලේඛකයා මොන බහුබූතයක්‌ ලියා තිබුණ ද දේශකයන් එහි දොසකට දකින්නේ ව්‍යාකරණ අඩුපාඩු කීපයක්‌ පමණි. එහෙත් මහවැලි කේන්ද්‍රයේ දී ඒ තත්ත්වයේ වෙනසකි, නිරෝධ දුටුවේ. සියලුම ප්‍රධාන දේශකයන් මම තවම යමි නවකථාවේ ග්‍රන්ථ නාමයේ පටන් අන්තර්ගතය දක්‌වා වූ අඩුපාඩු ඉතාමත් තාර්කිකව සාකච්ඡා කළ බවය, නිරෝධගේ අදහස. ඇතැමෙක්‌ මේ අදහස සම්බන්ධයෙන් නිරෝධ සම`ග එක`ග නොවන්නට ද ඉඩ ඇත. එහෙත් "මම තවම යමි" කියවා අවසන් වූ පසු ඒ ගැන තමන් තුළම සංවාදයක්‌ ගොඩන`ගා ගැනීමට හැකියාව ඇත.

ජනමාධ්‍යවේදියාගේ පාරිශුද්ධත්වය ගැන ප්‍රශ්න කරමින් සංවාදය ආරම්භ කළේ ධම්ම දිසානායක ය. ඔහු කොයි තරම් ගැඹුරට ඒ සංවාදය රැගෙන ගියා ද යත් අවසානයේ ඔහු නතර වූයේ තමන් පිළිබඳ ම ආත්ම විවේචනයක ය කීවෝතින් වඩාත් නිවැරදිය. පරිණත පුවත්පත් කලාවේදියකු දේශපාලනික තනතුරක්‌ දැරීමට යැම නිසා ලබන මානසික වියවුල කියන්නට සූරියආරච්චි උත්සාහ දරා ඇත. එහෙත් ධම්ම කථා කළ ආකාරයෙන් නිරෝධට හැ`ගුණේ ඔහු එම නවකථාව තමන්ගේ ජීවිත කථාව ලෙස පටලවාගෙන තිබූ බවය. කිසිම පුද්ගලයකුට තමන්ගේ හෘද සාක්‍ෂියෙන් ගැලවීමක්‌ නැති බව නම් ධම්ම අපට වඩාත් හොඳින් පැහැදිලි කළේය. කෙසේ වෙතත් නිරෝධ සිතන්නේ ධම්මගේ ආත්ම විවේචනය අවංක විවේචනයක්‌ බව ය.

නිරෝධගේ අවධානය වඩාත් යොමුවන්නේ එහි දී උපුල් ශාන්ත සන්නස්‌ගල දැක්‌ වූ අදහස්‌ කෙරේ ය. ඔහු ජනමාධ්‍යවේදියාගේ පාරිශුද්ධභාවය ප්‍රශ්න කළේ එක්‌තරා ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියකුගේ පෞද්ගලික ජීවිතයේ නිදර්ශනයක්‌ ද ගෙනහැර පාමිනි. සන්නස්‌ගල ඉන් කියා පෑමට උත්සාහ කළේ පුවත්පතකට ලියන වාගාලාපයන්ගෙන් යුතු අලංකාර ලිපියක්‌ තරමට පත්‍රකලාවේදියකුගේ අභ්‍යන්තරය අලංකාර නැති බවයි. එහෙත් සන්නස්‌ගල එම ප්‍රකාශය පත්‍රකලාවේදීන්ට පමණක්‌ පොදු ලෙස සිතා කළේ එතරම් මුලාවක්‌ නැති බව නම් නොකියා බැරිය. එහෙත් අද වන විට මෙරට ජනමාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය භාවිතයේ පාරිශුද්ධභාවය සම්බන්ධයෙන් එදාටත් වඩා බරපතළ තත්ත්වයන් පවතින බවය, ඇත්තම කාරණය. එදා ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් බරපතළම චෝදනාවක්‌ එල්ල වුණා නම් ඒ මධුවිතට ලොල් වීමය. එහෙත් ජනමාධ්‍ය ආචාරධර්ම සහ ජනමාධ්‍ය පෞරුෂය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනාවක්‌ එල්ල නොවූ තරම් ය. කිසියම් ආකාරයකින් එබඳු චෝදනාවකට ලක්‌වූවකු වූයේ නම් මාධ්‍ය ක්‍ෂේත්‍රය විසින් එම පුද්ගලයා ප්‍රතික්‍ෂේප කළේය. මේ තත්ත්වය දන්නා කිසිවකුත් එබඳු පහළ මට්‌ටමකට වැටෙන්නට මේ ගෞරවනීය වෘත්තිය ට එදා ආවේ නැත. එබඳු ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදීන් දකීපදෙනකු හෝ අදත් ජීවත්ව සිටින නිසා සන්නස්‌ගල ඔවුන් ගැන ද සිහිපත් කළා නම් අගේ යෑයි නිරෝධට සිතුණි.

අද ඇතැම් ජනමාධ්‍යවේදීන්ගේ හා ඔන්ගේ මාධ්‍ය භාවිතයේ ඛේදනීයත්වය විස්‌තර කිරීමට මෙබඳු සටහනක්‌ කෙසේ වෙතත් පොත් දහයක්‌ ලියූව ද ප්‍රමාණවත් නැත. සංවේගයට කාරණය නම් අද මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ පවා උත්කර්ෂයට ලක්‌ කරන්නේ මෙබඳු මාධ්‍ය භාවිතාවන් වීම ය. කරුණාදාස සූරියආරච්චි මම තවම යමි නවකථාවෙන් එබඳු චරිතයක ආත්ම කථනය කියා පෑමට උත්සාහ ගෙන ඇතත් සන්නස්‌ගල එදා ඔප්පු කර පෙන්වූ පරිදි (වටරවුම, සත්‍යවාදියකුගේ දින සටහන් ආදී උදාහරණ ගෙන) මෙය සූරියආරච්චිගේ ආත්මකථනය දෝයි නිරෝධට ද කුකුසක්‌ උපදී. කෙසේ වුවත් පත්‍රකලාවේදියකු තමන්ගේ වෘත්තිය පාවා දෙමින් ගන්නා තීන්දු තීරණ කෙදිනක හෝ ඔහුගේ හෘදසාක්‍ෂිය විසින් ප්‍රශ්න කරනු ලබන බව අපට පහදා දීමට ලේඛකයා ගෙන තිබෙන අවංක උත්සාහය ප්‍රශංසා සහගතය.

පරමාදර්ශී ජනමාධ්‍යයක්‌ හෝ මාධ්‍යවේදියෙක්‌ මේ මිහිපිට ඇතැයි නිරෝධ විශ්වාස කරන්නේ නැත. එහෙත් වෘත්තියට අවංක විය හැකි උපරිම සීමාව දක්‌වා හෝ යැමට නොහැකි යෑයි ද නිරෝධ විශ්වාස කරන්නේ නැත. අද බොහෝ දෙනකු ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට යොමු වන්නේ මෙම වෘත්තීය වරප්‍රසාදයක්‌ කරගෙන තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරගැනීමට ය. මේ තත්ත්වය කොයිතරම් පහළ මට්‌ටමින් ක්‍රියාත්මක වෙනවාද යත් අද දවසේ පුවත්පත් කලාවේදියකු වීමේ අරමුණු නිරෝධට මෙසේ පෙළගැස්‌විය හැක.

* බලයේ සිටින ආණ්‌ඩුවේ තනතුරක්‌ ලබාගැනීම.

* රූපවාහිනි නිවේදක සිහිනයක්‌ සැබෑ කරගැනීම.

* විදේශ සංචාර සඳහා අනුග්‍රාහකත්වයන් ලබා ගැනීම.

* ප්‍රභූ පුද්ගලයන්, ජනප්‍රිය පුද්ගලයන් ඇසුරු කිරීම හා ඒ බව සමාජයට ඇ`ගවීම.

* තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යැමට ඉතා හොඳ වාහකයක්‌ වීම.

මීට අමතරව චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක ර`ගපෑමට අවස්‌ථාව උදාකර ගැනීම සඳහාත්, ව්‍යාපාරික ප්‍රවෘත්ති වාර්තා කිරීමට යැමේ දී යම් යම් තිළිණ ලැබෙන නිසාත්, මේ කිසිවක්‌ම නැතත් කරන්නට වෙන රස්‌සාවක්‌ නැති නිසාත් මාධ්‍යවේදීන් බවට පත් වූවෝ ද කොතෙකුත් වෙති. කිනම් අරමුණකින් පැමිණිය ද වෘත්තියට එළඹුණු පසුව හෝ එහි වටිනාකම හා ගෞරවය හඳුනාගත හැක්‌කේ නම් ගැටලුවක්‌ නැත. එහෙත් එබන්දක්‌ නම් නිරෝධ දකින්නේ නැත. නිරෝධ දන්නා පරිදි එදා පත්‍රකලාවේදියා මත්පැන් වීදුරුවකට වෘත්තිය බාල්දු කළේ නැත. එහෙත් බරපතළ කාරණය ඉහත අරමුණු සපුරා ගනුවස්‌ අද සිටින මාධ්‍යවේදීන් යෑයි කියාගන්නා ඇතැම් පිරිස්‌ වෘත්තීය ගරුත්වය අමු අමුවේ කෙළෙසා දැමීම ය. එය සුරා සො`ඩකු වීම තරම් නම් අහිංසක නැත.

No comments:

Post a Comment