Tuesday, August 7, 2012


මිනිස්‌ ජාවාරමේ ගින්න!


පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නීති විරෝධී ලෙස විදෙස්‌ගත කිරීමේ ජාවාරමක්‌ පිළිබඳ වාර්තාවක්‌ ඊයේ "දිවයින" මුල් පිටුqවේ පළ වී තිබේ. පසුගිය මාස කීපයකම මෙබඳු ආකාරයෙන් පුද්ගලයන් විදෙස්‌ගත කිරීමට ගත් උත්සාහයන් හි දී ඒ සඳහා යොදාගත් බෝට්‌ටු මුහුද මැදදී අනතුරට පත් වී ජීවිත හානි සිදු වූ ප්‍රවෘත්ති ද අසන්නට දකින්නට ලැබුණි. අදාළ ප්‍රවෘත්තියේ සඳහන් වන ලෙස මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ මෙවර නැගෙනහිර පළාත් සභාව සඳහා තරගවදින දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයකු වන සුරේෂ් කුමාර් නමැත්තකු හා නීතීඥවරයෙකි.

උතුර - නැගෙනහිර ප්‍රදේශවලින් පුද්ගලයන් පිටරට පැටවීම අද ඊයේ ආරම්භ වූවක්‌ නොවේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය එම භූමි ප්‍රදේශ පාලනය කළ සමයේ කරගෙන ගිය ජාවාරම් අතර ප්‍රධාන ජාවාරම් කීපයක්‌ වෙයි. එකක්‌ අවි ආයුධ ජාවාරමයි. අනෙක මත්ද්‍රව්‍ය ජාවාරමයි. මිනිසුන් විදෙස්‌ රටවලට නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමෙන් ද ඔවුහු අති විශාල ධනස්‌කන්ධයක්‌ උපයා ගත්හ. ඒ අතරම ඔවුන් මිනිස්‌ ජාවාරම යොදා ගත්තේ ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණු ඉෂ්ට කරගැනීමේ උපායයක්‌ ද වශයෙනි. එනම් මෙසේ පුද්ගලයින් සරණාගතයින් ලෙස අමෙරිකාව ඇතුළු යුරෝපා රටවලට පැටවූ ඔවුන් එම රටවලට අ`ගවා සිටියේ මෙසේ පැමිණෙන්නවුන් ශ්‍රී ලංකාවේ මහා ජාතියෙන් එල්ලවන පීඩා ඉවසා ගත නොහැකිව එන්නන් බවයි. එකල ශ්‍රී ලංකාවේ යුදමය තත්වයක්‌ ද පැවති හෙයින් එල්.ටී.ටී.ඊ. ය ජයටම මේ ජාවාරම කරගෙන ගියේ ය. හැබැයි එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනතාවගෙන් එසේ නීති විරෝධී ලෙස හෝ යුරෝපයට පැනගන්නට ලැබුණේ අතමිට යහමින් තිබූවන්ට පමණ ය. මන්ද යුරෝපයට යැමට ඕනෑ නම් තමන් සතු සියලු ධන සම්පත් එල්.ටී.ටී.ඊ.ය ට පූජා කළ යුතුය. ධන සම්පත් අහිමි වුවත් කමක්‌ නැතැයි සිතා බොහෝ පිරිසක්‌ පිටරටවලට පැන ගත්තේ එල්.ටී.ටී.ඊ. කෲර පාලනයෙන් මිදීමට අන් මගක්‌ නොවූ හෙයිනි. එහෙත් එසේ සියල්ල පුජාකර යුරෝපයට පැන ගත්ත ද ඔවුන්ට එල්.ටී.ටී.ඊ.යෙන් ගැලවීමක්‌ නම් ලැබුණේ නැත. මොන රටේ කොතැන සිටියත් සංවිධානයට කප්පම් මුදලක්‌ ගෙවිය යුතු විය.

දෙමළ ජනතාවටම වෙන් වූ ස්‌වාධීන රාජ්‍යයක්‌ ගොඩනගනවා යෑයි කියා එල්.ටී.ටී.ඊ.ය අහිංසක දෙමළ ජනතාව රැවටුව ද තමන්ගේ ඊළාම් රාජ්‍ය පිළිබඳ සිහිනයක සිටි මේ ජනතාව තම අකමැත්ත යටපත් කරගෙන සංවිධානයට මුදල් පොම්ප කිරීමට පියවර ගත්තේය.

අද එල්.ටී.ටී.ඊ.ය නැත. එහෙත් ඔවුන්ගේ සෙවණැලි තවමත් උතුරේ හොල්මන් කරනා බව සුරේෂ් කුමාර් වැන්නවුන්ගෙන් පැහැදිලි වෙයි. අද ඔවුන් මේ ජාවාරම කරන්නේ දෙමළ ජනතාව පමණක්‌ යොදාගෙන නොවීමය විශේෂත්වය. පසුගියදා අත්aඩංගුවට පත් මෙබඳු නීතිවිරෝධී බෝට්‌ටුවක සිටි සිංහල ජාතිකයන් කීපදෙනකු ගැන ද තොරතුරු වාර්තා විය. දෙමළ සන්ධානයේ අදාළ අපේක්‍ෂකයා පළාත් සභාවට පත් වන්නට වරම් ඉල්ලන්නේ මෙබඳු ජාවාරම් වඩාත් දියුණු ආකාරයෙන් කරගෙන යැමට ද යන්න අපි නොදනිමු. කොහොම වෙතත් මෙබඳු අයකුට නාමයෝජනා දීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කටයුතු කළේ මේ කිසිවක්‌ නොදැන යෑයි කියා කියන්නට හැකියාවක්‌ නැත. එහෙයින් අදාළ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දැන් රටට ගතු කිව යුතුව තිබේ. එපමණක්‌ ද නොවේ දෙමළ ජනතාව මෙබඳු ජාවාරම් ඔස්‌සේ විදෙස්‌ගත කිරීම් සම්බන්ධයෙන් ද තමන්ගේ ස්‌ථාවරය ප්‍රකාශ කළයුතුව තිබේ.

ආණ්‌ඩුවටද මේ සම්බන්ධයෙන් බරපතළ වගකීමක්‌ ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි බලය යටපත් කළ ද මෙබඳු ජාවාරම් ඔස්‌සේ රට අපකීර්තියට පත් කිරීමේ උත්සාහයන් ඇති බව හඳුනා ගත යුතුව තිබේ. දකුණේ නොහික්‌මුණු දේශපාලකයන්ට ද මෙබඳු ජාවාරම්වල රස දැනෙන්නට පෙර මේවා මුලිනුපුටා දැමීමට වහා පියවර ගත යුතුව තිබේ. එසේ නොවුණහොත් මේ රට ඇවිලෙන්නේ කිසි දා නිවා දැමිය නොහැකි ගින්නකින් බව අවධාරණය කිරීමට අපට සිදු වෙයි


No comments:

Post a Comment