Sunday, August 26, 2012


වෙන්නේ මොනවාද දන්නේ නැති රටක්‌




                                                                  

                                                                                                                                                                         










නිරෝෂන් හැඳලගේ



ස්‌වාසිලන්ත රජු ශ්‍රී ලංකාවේ කළ සංචාරය ආණ්‌ඩුවට ඒ තරම් ගුණදායක වුණේ නැත. ස්‌වාසිලන්තයත්, එහි රජුත් ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ එක්‌තරා ගෝත්‍රික චාරිත්‍රයක්‌ සම්බන්ධයෙන් වීම ඊට හේතුවයි. එබඳු තත්ත්වයක්‌ පවතිද්දී ජනාධිපතිවරයා කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුqපල වෙතම ගොස්‌ ස්‌වාසි රජු සහ බිරිය පිළිගැනීම කාගේත් කතාබහට ලක්‌ විය. ස්‌වාසි රජු පමණක්‌ නොව ඔහුගේ පියාගේ බිරියන් 350 දෙනා ගැනද තොරතුරු ඇතුළත්ව සතිඅන්ත පුවත්පත්වල පිටු පුරා ලිපි පළවීම මේ තත්ත්වය තවත් උත්සන්න කළේය. ජනමාධ්‍ය හා විපක්‍ෂය ස්‌වාසි රජුගේ සංචාරය පිළිබඳ විවිධ චෝදනා එල්ල කරද්දී මුලදී ස්‌වාසි රාජ්‍යය හා රජු වර්ණනා කරමින් ප්‍රතිඋත්තර බැඳි ඇතැම් මැතිඇමැතිවරු හා රජයේ මාධ්‍ය පසුව රාජ්‍ය නායකයන් අතර ඇතිවන සබඳතා හේතුවෙන් මෙබඳු නිල සංචාර ඇතිවීම සාමාන්‍ය දෙයක්‌ බවට පෙන්වා දීමට උත්සාහ කළහ.

ස්‌වාසිලන්තයෙන් නොව මිනීමස්‌ කන ගෝත්‍රිකයන් තවමත් ජීවත්වන ලෙසතෝ බඳු රාජ්‍යවල රාජ්‍ය නායකයන් වුව ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණිය ද එයින් රටට හානියක්‌ වේ යෑයි අප සිතන්නේ නැත. එහෙත් රාජ්‍ය නායකයන් අතර වන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල දුරස්‌ථ බව හෝ සමීපස්‌ථ බව තීරණය කිරීමට කිසියම් නිර්ණායකයන් ඇත. ස්‌වාසිලන්ත රජුගේ සංචාරයේදී එම සම්ප්‍රදායයන් කොයිතරම් දුරට රැකුණාද යන්න පිළිබඳ කා තුළත් සැකයක්‌ උපදී. වසරකට වරක්‌ අලුතින් බිරියක්‌ තෝරා ගැනීම ස්‌වාසි රජුගේ ව්‍යවස්‌ථාපිත අයිතියක්‌ විය හැක. නමුත් දියුණු සමාජ ක්‍රමවලදී එබඳු ගෝත්‍රික චාරිත්‍රයන් ශිෂ්ට සම්පන්න ලෙස සලකා ගරු කරන්නේ නැත. අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව සියවස්‌වල පටන් යෝනකයන් (මුස්‌ලිම් ජාතිකයන්) සමග සබඳතා පවත්වන සිංහල සමාජය තුළ ඔවුන් සතුවද පවතින එබඳු චාරිත්‍ර අගය කරන්නේ නැත. කෙසේ වුවද ස්‌වාසි රජුගේ මෙරට සංචාරය අප නම් දුටුවේ රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයකට වඩා පෞද්ගලික සබඳතා මත සිදුවූ සංචාරයක්‌ ලෙසය. ගැටලුව ඇත්තේ ස්‌වාසිලන්තය බඳු ගෝත්‍රික රටක නායකයකුට වඩා වැදගත් රාජ්‍ය නායකයන් මෙරටට පැමිණි අවස්‌ථාවලදීවත් අපේ රාජ්‍ය නායකයා ඔවුන් පිළිගැනීම සඳහා ගිය අවස්‌ථා සාපේක්‍ෂව අඩු අගයක්‌ ගැනීමය.

රටවල් දෙකක්‌ අතර ද්වීපාර්ශ්වීය සබඳතා පැවැත්වීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. එහිදී අදාළ රටවල නායකයන්ගේ ජනප්‍රිය භාවයත්, ඔවුන් අතර වන සබඳතාත් බොහෝ විට ඉවහල් වෙයි. එහෙත් අපේ රටට විවිධ රටවල රාජ්‍ය නායකයන් පැමිණි අවස්‌ථාවලදීත් මෙරට රාජ්‍ය නායකයා විදේශ රටවල නිල සංචාරවල නියෑලි අවස්‌ථාවලදීත් විවිධ ව්‍යාපෘති සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කළ ද ඒවායින් මේ රටට ලැබුණු ප්‍රතිලාභ ඇත්තේ අල්පයක්‌ පමණක්‌ වීමය. අනෙක්‌ අතට රටක ආණ්‌ඩුවක්‌ බොහෝ විට උත්සාහ ගන්නේ තම රටට වඩාත් ප්‍රතිඵලදායක විය හැකි මට්‌ටමේ රටවල් හා රාජ්‍ය නායකයන් සමග සබඳතා ඇතිකර ගැනීමටය. නමුත් මේ ආණ්‌ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තුළ එබඳු උපක්‍රමශීලී බවක්‌ ඇතැයි දැකිය නොහැක. ඊට හොඳම උදාහරණය නම් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහිදී යෝජනාවක්‌ සම්මත වීමය. එහිදී සිදු වූ අතපසු වීමේදී හෝ රටට වඩාත් ප්‍රතිඵලදායක විදේශ සබඳතා ඇතිකර ගැනීමට ආණ්‌ඩුවට දැක්‌මක්‌ තිබිය යුතුය. යුද්ධය අවසන් කර රට සංවර්ධනයේ සිහින සැබෑ කරගැනීමට බලා සිටින මෙබඳු මොහොතක විදේශ ප්‍රතිපත්තිය මීට වඩා කළමනාකරණය කිරීමට තරම් ආණ්‌ඩුවට ඉදිරිය දැකීමේ හැකියාවක්‌ තිබිය යුතුය.

රට එබඳු නිවැරැදි මාර්ගයකට ගත හැක්‌කේ ආණ්‌ඩුව කරන්නේ මොනවාද, නායකයන් කරන්නේ මොනවාද යන්න පිළිබඳ රට තුළ කිසියම් සංවාදයක්‌ ගොඩනැගිය හැකි නම් පමණය. එහෙත් ජනතාව තබා විපක්‍ෂයවත් ආණ්‌ඩුව කරන්නේ මොනවාද කියා දන්නේදැයි අපට සැකයක්‌ ඇත. අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ දැනට පවතින අර්බුද මෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මේ වන විට පවතින අවුල් වියවුල් වලින් පැහැදිලි වන්නේ ආණ්‌ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ ගැන ආණ්‌ඩුව ඇතුලේ ඉන්නා අයම දන්නේ නැති බවය. දූෂිත හෙජිං ගනුදෙනුව, බාල ඉන්ධන ගෙන්වීම ආදිය එබඳු අර්බුද පුපුරා ගිය අවස්‌ථාය. මෙබඳු දූෂිත ගනුදෙනු නිසා රටට සිදුවන අලාභය පියවා ගැනීමට ස්‌වාසිලන්තය බඳු ගෝත්‍රික රාජ්‍යයන් සමඟÊපවත්වන සබඳතාවලින් යහපත් වේ යෑයි අපට තර්ක කළ හැකි ද?

කොහොම වෙතත් ස්‌වාසිලන්ත රජු ගුවන්තොටුපළටම ගොස්‌ පිළිගෙන කැඳවාගෙන ඒමේ සිද්ධිය පිළිබඳව වටින් පිටින් ගල් මුල් එල්ල වෙද්දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මහත් අස්‌වැසිල්ලක්‌ වූයේ ඉන්දියාවේ කපිලවස්‌තුපුර සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේලා පිළිගැනීමට ද ගුවන් තොටුපළ වෙත යැම ය. ස්‌වාසිලන්ත රජු පිළිගැනීමට යැම හා ඔහුගේ ගෝත්‍රික චාරිත්‍රවලට එල්ල කළ ගල්මුල් බඳු ප්‍රහාර සර්වඥධාතූන් වහන්සේ පිළිගෙන වැඩම කරවීමට යැම සම්බන්ධයෙන් එල්ල කිරීමට කිසිවකුටත් නොහැක. එහෙයින් ස්‌වාසිලන්ත රජුගේ සංචාරය පිළිබඳ චෝදනා උච්චතම අවස්‌ථාවට පැමිණීමට පෙර සර්වඥධාතූන් වැඩම කරවීම ආණ්‌ඩුවේ යහපතට හේතු වූ බව නම් කිව යුතුය.

කෙසේ වෙතත් සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවා රටවටා සංචාරය කරවන්නේ එළැඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කරගෙන යෑයි ඇතැමුන් චෝදනා කරයි. පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කිරීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාව බඳු බෞද්ධ පුනරුදයකින් පිබිදුණු රටකට ගෞතම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වැඩම කරවීම. ආගමිකව මෙන්ම ඓතිහාසිකවත් අතිශය වැදගත් අවස්‌ථාවක්‌ ලෙස සැලකීමට දෙවරක්‌ සිතිය යුතු නැත. ඒත් පෙර කී පරිදි එල්ල වන චෝදනාව ඇත්තක්‌ දැයි සිතෙන්නේ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන ස්‌ථාන ගැන සලකා බලන කලය. පැල්මඩුල්ලේදී පැවැත්වෙන ප්‍රදර්ශනයෙන් අනතුරුව ධාතූන් වහන්සේ වැඩම කරවන්නේ අනුරාධපුරයටය. එයින් පසු ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කන්තලේදී ය. පැල්මඩුල්ල යනු සබරගමුව පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත්, අනුරාධපුර යනු උතුරු මැද පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත්, කන්තලේ යනු නැගෙනහිර පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත් අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. ඒ වගේම සබරගමුව, උතුරු මැද සහ නැඟෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා මේ වන විට දින නියම කර ඇති බව ද ජනතාවට තෝරා බේරා දිය යුතු නොවේ. ධාතු ප්‍රදර්ශනය කැලණියේ පවත්වා පැල්මඩුල්ලට ගෙන යැම බස්‌නාහිර පළාතට ළඟම පළාතක්‌ ලෙස ගැටලුවක්‌ නැත. නමුත් වයඹ හා මධ්‍යම පළාත් මඟහැර සර්වඥ ධාතුන් වහන්සේ අනුරාධපුරයට වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ හා එතැනින් කන්තලේට වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ කිසියම් යටි අරමුණක්‌ නැතැයි කියන්නට ද හැකියාවක්‌ නොවේ. ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ රාජ්‍ය මාධ්‍යයට ඇස්‌කන් යොමු කළහොත් මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන කාලය තුළ අදාළ පළාත් සභාවලට අයත් ප්‍රදේශවල මෙබඳු ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමේ සද්භාවය පිළිබඳ අපට නම් යම් යම් ගැටලු මතුවෙයි.

එක්‌ අතකට මැතිවරණය පැවැත්වෙන පළාත්වලට අයත් ප්‍රදේශවල බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය කොට ජනතාවට ඉන් ආශිර්වාද ලබා ගැනීමට අවස්‌ථාව සැලසීම හොඳ යෑයිද අපට සිතේ. මන්ද මෙම පළාත් සභාවලට පත්වන දේශපාලකයන්ගෙන් කිසිදු පිහිටක්‌ නොලැබෙන එම ප්‍රදේශවල ජනතාවට මෙබඳු ආශිර්වාදයක්‌ හෝ ලැබීම දුකසේ ගෙවන ජීවිතයට යම් අස්‌වැසිල්ලක්‌ වන හෙයිsනි.

කොහොම වෙතත් මේ රටේ ජනතාව ධාතු වන්දනා කරන අතරතුර "දේශපාලන වන්දනා" ගැනද අවධානයෙන් සිටිය යුතුය. මේ වන විට පැවැත් වූ උසස්‌ පෙළ විභාග හා පැවැත්වෙන උසස්‌ පෙළ විභාග සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදීමෙන් ද රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය අර්බුදයකට පත්කර තිබෙන මොහොතක ආණ්‌ඩුවේ ලකුණු කැපී යැම් මගහරවා ගැනීමට කළහැකි ඕනෑම දෙයක්‌ කිරීමට ආණ්‌ඩුව සූදානම්ය. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය තරමටවත් ආණ්‌ඩුවට දැනෙන විරෝධයක්‌ පෑමට අසමත් විපක්‍ෂය ආණ්‌ඩුවේ ඒ උත්සාහයන්ට මුක්‌කු ගසමින් සිටී. නමුත් මේ රටේ ජනතාව තමන්ගේ පරමාධිපත්‍යයේ බලය පෙන්වීමට අවස්‌ථාව ලැබී ඇති මේ මොහොතේ රට යන්නේ නිවැරැදි මඟක නොවන බව ආණ්‌ඩුවට සංඥ කිරීමට සූදානම් විය යුතුය. ඒ සඳහා හොඳම අවස්‌ථාව දැන් එළැඹ ඇත්තේ සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල ජනතාවට ය. සර්වඥ ධාතුන් වහන්සේලාගේ ද ආශිර්වාද ලැබ සම්මා සතියෙන් යුතුව ඡන්දය පාවිච්චි කළහොත් රටේ අනාගතය වෙනස්‌ කළ හැකි බව ඔවුන් පහදාගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

divaina/24-08-12

No comments:

Post a Comment