Wednesday, August 22, 2012













VIP පාස්‌ නැති ධාතු වන්දනාවේ සංවේගය හා 

නිදහස්‌ අධ්‍යාපනයේ අවසානය



මාස තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ සරසවි ආචාර්යවරුන්ගේ යෝජනාවලට විසඳුමක්‌ දීමට අසමත්වූ ආණ්‌ඩුව හිරිකිතයක්‌ නැතිව සරසවි වසා දැමුවේය. මෙසේ සරසවි වසා දැමීමෙන් කාරණා දෙකක්‌ හෙළිදරව් වන බව නිරෝධගේ අදහසයි. එකක්‌ නම් ආචාර්ය වර්ජනය නිසා සරසවි අධ්‍යයන කටයුතුවලට කිසිදු බාධාවක්‌ සිදුවී නැතැයි මාධ්‍ය සාකච්ඡා පවත්වා වහසි බස්‌ දෙඩූ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ තිරිංග නැති වචන, කටමැත දෙඩවීමක්‌ බව තවදුරටත් ඔප්පුවීම ය. අනෙක නම් ආචාර්ය වර්ජනයේ යථාර්ථයට මුහුණ දීමට අසමත් මේ ආණ්‌ඩුව උත්සාහ ගන්නේ සරසවි වසා දමා, ඒවා වසා දමන්නට සිදු වූයේ ආචාර්යවරුන් ගේ වර්ජනය හේතුවෙන් බව ජනතාවට ඒත්තු ගැන්වීමට ය. ජනතාවද මේවා යම්තාක්‌ දුරට විශ්වාස කරනවාදැයි නිරෝධට සැකයක්‌ තිබේ. මන්ද ප්‍රමිතියෙන් බාල ඉන්ධන නිසා වාහන අතරමඟ නැවතීමෙන් ඇතිවන පීඩාව බඳු පීඩාවක්‌ සරසවි ආචාර්ය වර්ජනය නිසා ජනතාවට දැනෙන්නේ නැත. දිනකට පැය තුනක්‌ විදුලිය විසන්ධි කිරීම නිසා එදිනෙදා කටයුතුවලට සිදුවන බාධා වැනි බාධා සරසවි වර්ජනය නිසා ජනතාවට ඇතිවන්නේ නැත. සර්වඥ ධාතූන් වඳින්නට ගොස්‌ පැය ගණන් පෝලිම්වල පොරකෑවද ආපසු හැරී එන්නට සිදුවන විට වී. අයි. පී. (VIP) පාස්‌වලින් වරප්‍රසාද ලද්දොa ධාතු වන්දනා කරද්දී ඇතිවන සංවේගය බඳු සංවේගයක්‌ සරසවි වර්ජනය නිසා ජනතාවට ඇතිවන්නේ නැත. මේ නිසා මාස තුනක්‌ නොව අවුරුද්ද පුරා සරසවි ආචාර්යවරු වැඩවර්ජනය කළද මේ රටේ ජනතාවගේ ඇස්‌ අරවන්නට නොහැකි වුණත් නිරෝධ පුදුම වන්නේ නැත. ඒත් රට විනාශයට ඇද දැමීමේ අංකුර රෝපණය කරන දේශපාලන කැණහිලුන් නිදහස්‌ අධ්‍යාපන අයිතියටත් අධ්‍යාපනයේ ප්‍රමිතියටත් මේ කරන හානිය නිසා අනාගතයේ රට අනතුරේ වැටුණු පසු සර්වඥධාතු වැඳගැනීමට නොහැකි වුණු නිසා ඇතිවූ සංවේගයටත් වඩා සංවේගයකින් සුසුම් හෙළන්නට මේ රටේ ජනතාවට සිදුවන බව නම් නිරෝධට ස්‌ථීරවම කිව හැක.

මේ ආණ්‌ඩුවේ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පැහැදිලිවම පෙනී සිටින්නේ උසස්‌ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වෙනුවෙන් බව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීමෙන් හා ප්‍රකාශවලින් හොඳින්ම පැහැදිලි වෙයි. ඇමැතිවරයාගේ එබඳු නින්දිත උත්සාහයන් ප්‍රසිද්ධියේ විවේචනය වෙද්දී තමන්ගේ ආත්ම ගෞරවයත් උසස්‌ අධ්‍යාපන ඇමැති තනතුරේ ගෞරවයත් නොකෙලසා ඔහු ඉල්ලා අස්‌ නොවෙන්නේ ඔහුගේ ලඡ්ජාව නමැති නහරය ඉවත් කර ඇති නිසාදොaයි නිරෝධට සැක සිතෙයි. අනේ ෘ ඇමැතිතුමා එබඳු කරදරයක වැටිලා නම් ඔහු ඉවත් කිරීමට වෙනකකු මැදිහත් නොවන්නේ නම් මේ ආණ්‌ඩුවේ සියල්ලන්ගේම ලඡ්ජා නහරය උපතින්ම පිහිටා නැතිදොaයි නිරෝධ සංවේගයට පත් වෙයි. 

සරසවි ආචාර්යවරුන්ගේ යෝජනාවලට කිසිදු සෘජු ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට ආණ්‌ඩුව උනන්දු නොවන්නේ "උඹලාටම එපා වුණු දවසක ඕක නවත්තපියව්" කියන්නා සේය. එහෙත් තමන්ගේ අරමුණු වෙනුවෙන් තෙමසකටත් ආසන්න කාලයක්‌ පුරා එකාවන්ව එක අරමුණකින් සිටිමින් සෘජුව කටයුතු කිරීම පිළිබඳ නිරෝධ සරසවි ආචාර්යවරුන්ගේ සංගමයට ශීර්ෂ ප්‍රණාමය පුද කරයි. 

හෙජිං බඳු දූෂිත දේශපාලනික ගනුදෙනු නිසා නඩු කියන්නටත් වන්දි ගෙවන්නටත් කෝටි ප්‍රකෝටි ගණනින් මහා භාණ්‌ඩාගාරයට මුදල් ඇතැයි කියන ආණ්‌ඩුව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන ඉහළ දමන්නට මුදල් නැතැයි කියන්නේ අනිවාර්යයෙන් ම ලඡ්ජාව නමැති නහරය නැති නිසා බව නිරෝධට නම් දැන් පැහැදිලි ය. නමුත් විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය කරන්නැයි ආචාර්යවරුන් විසින් කරනු ලබන ඉල්ලීමට ආණ්‌ඩුව (විශේෂයෙන් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා) භය වී ඇති සැටි දකින විට කිසියම් ලඡ්ජාවකුත් තියෙන බවක්‌ නිරෝධට සිතෙයි. මන්ද විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය වී ස්‌වාධීන ආයතනයක්‌ ලෙස ගොඩනැඟුනහොත් තමන්ගේ ඔළු ඇතුළෙ කිසිවක්‌ නැති බව රටට හෙළිදරව් වන බව මේ දේශපාලකයන් හොඳින්ම දනී. එහෙයින් තමන්ට පාලනය කළ හැකි පිරිසක්‌ විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීමේ අරගලය මොවුන් අතහරිතැයි සිතිය නොහැක. 

විශ්වවිද්‍යාලයක උපකුලපති ධුරය සෘජු දේශපාලනික මැදිහත්වීමකින් පත් කෙරෙන්නකි. ඒ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. ජනාධිපතිවරයා පත්කරන්නේ තමන්ට බැගෑපත් පුද්ගලයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ ජනාධිපතිවරයාට පක්‍ෂපාත උපකුලපතිවරයා විසින් අධ්‍යයනාංශ ප්‍රධානීන් පත් කරයි. ඔවුන් උපකුලපතිවරයා ගේ හිත දිනාගන්නා පිරිසකි. ඔවුන් විසින් පත් කරනු ලබන පීඨාධිපතිවරුන් ගැනද තවදුරටත් පැහැදිලි කළ යුතු නොවේ. මේ අනුව විශ්වවිද්‍යාල ධුරාවලිය දේශපාලනයට සම්බන්ධ වී ඇති අයුරු වටහා ගත හැක. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය බඳු විශ්වවිද්‍යාලවල පරිපාලනය සම්බන්ධයෙන් පසුගිය දිනවල අප කවුරුත් ඇසූ දූටු දේවලින් මේ කාරණා වටහාගත හැකි බව නිරෝධගේ අදහසයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම්වල වලංගුභාවය සම්බන්ධයෙන් "දිවයින" පුවත්පතින්ම කොයිතරම් හෙළිදරව් කිරීම් කළ ද යළිත් එම පුද්ගලයාම උපකුලපති ධුරයට පත් කිරීමෙන් විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය වී ඇති අයුරු මොනවට පැහැදිලි වෙයි. 

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්‌ඩලය සඳහා බොහෝ විට බඳවා ගැනීම් කරනුයේ තාවකාලික පදනමින්ය. එසේ සිදු කෙරෙන බඳවා ගැනීම්වලින් වැඩි පිරිසක්‌ මැති ඇමැතිවරුන්ගේ හෙංචයියන් ය. මෙසේ තිබිය දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්‍ෂක මණ්‌ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකු ද පත් කිරීමට යෝජනා කරමින් ආණ්‌ඩුව අලුත්ම චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත. මීට පෙර ද ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් අදාළ තෝරා ගැනීම් සඳහා සහභාගි නොවුණා නොවේ. ඒත් ආචාර්යවරුන් තෝරා ගැනීමේදී සෘජු බලපෑමක්‌ කිරීමට එම නිලධාරීන් ට හැකියාවක්‌ තිබුණේ නැත. නමුත් 2012-08-06 දාතමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු විශ්වවිද්‍යාල වෙත නිකුත් කර ඇති චක්‍රලේඛ අංක-991න් අණ කර සිටින්නේ අධ්‍යනාංශ ප්‍රධාන හා පීඨාධිපති කෙබඳු මතයක්‌ දැරුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කළ නිලධාරීන් දෙදෙනාගේ එකඟතාව නැති නම් තෝරා ගැනීම් කළ නොහැකි බවයි. ඒ බව මෙසේ සඳහන් වෙයි. උපුටා ගැනීම .....Should agree with the selection to be made. In case,, both members are not in agreement with the Selection, such apoinment should not be recommended by the Selection Committee. උපුටා ගැනීම අවසන්. මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ සරසවි ආචාර්යවරුන්ගේ සංගමයේ වර්ජනය අතරතුර වීම කාගේත් අවධානයට ලක්‌ විය යුතුය. මෙය කොයිතරම් සදාචාර සම්පන්න ද යන්න විමසා බලන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ගෙන් හෝ ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින්නට බැරිය. මන්ද ඒ ඇමැතිවරයාට හෝ ආණ්‌ඩුවට සදාචාරයක්‌ තිබේ නම් මෙබඳු යෝජනා ගෙන එන්නේ නැත. 

මෙහි දේශපාලන අරමුණු දෙකක්‌ නිරෝධට පැහැදිලි වෙයි. එකක්‌ නම් තමන්ගේ අල්ලේ නැටවිය හැකි පමණට විශ්වවිද්‍යාල පද්ධතිය සකසා ගැනීමය. අනෙක මේ ආණ්‌ඩුව දත නියවා සිටින උසස්‌ අධ්‍යාපනය වෙළෙඳපොළක්‌ බවට පත් කිරීමේ අරමුණුවලට විශ්වවිද්‍යාලය ඇතුළෙන් එන බාධා මගහරවාලීමය. එනිසා නිරෝධ යළිත් සිහිපත් කරන්නේ සර්වඥධාතු වන්දනාවට ගොස්‌ VIP පාස්‌ නැතිව ආපසු හැරී එද්දී ඇතිවූ සංවේගය රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයට සිදුවෙමින් පවතින විනාශය සම්බන්ධයෙන්ද ජනතාවට දැන් ඇතිවිය යුතු බව ය. 

Watamadala/23-08-2012

No comments:

Post a Comment