Friday, June 15, 2012


ගැත්තකු නොවන විද්‍යාර්ථියෙක්‌!


උපාලි උබයසේකර ගේ දෙදහස්‌ විසිහයේ මහල්ලා නවකතාව ඒ පිළිබඳ අදහසක්‌ පළ කරන්නැයි එක්‌තරා මහාචාර්යවරයකුගෙන් උභයසේකර විසින් ඉල්ලීමක්‌ කරන ලද බවත් නමුත් කිසිදු අදහසක්‌ පළ නොකළ මහාචාර්යවරයාගෙන් ඒ ගැන විමසූ විට සිනහවකින් පිළිතුරු දුන් බවත් උපාලි උභයසේකර විසින් වටමඩල සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී (2012) මැයි මස 17 වටමඩල පවසා තිබිණි)

මහාචාර්යවරයා එසේ අදාළ නව කතාව පිළිබඳ මුනිවත රැක්‌කේ එහි එක්‌ පරිච්ඡේදයක දී කොමියුනිස්‌ට්‌ ව්‍යාපාරයේ අවලංගුභාවය පිළිබඳ තමන් විසින් කරන ලද විවේචනයක්‌ හේතුවෙන් බව උපාලි අදාළ සම්මුඛ සාකච්ඡාවේදී කියා තිබිණි.

ඒ සිද්ධිය මේ මොහොතේ නිරෝධට සිහියට නැගුණේ නිරෝධ මුණ ගැසෙන්නට පැමිණි එක්‌තරා විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක්‌ විශ්ව විද්‍යාලය තුළ තමන් ලබන අධ්‍යාපනයේ අඩුපාඩුකම් පිළිබඳ ඉතා හැඟීම් බරව නිරෝධ හා අදහස්‌ පළ කරන්නට වූ හෙයිනි. තමන්ට අධ්‍යාපනය ලබාදෙන ඇතැම් ආචාර්යවරුන්ගේ සුදුසුකම් ගැනත් දේශන ශාලාවට පැමිණ ඔවුන් ශිෂ්‍යාවන් නොමඟ යවන ආකාරය ගැනත් ඔහු ඉතා දැඩිව කතා කළේය. මේ වන විට රටේ සමස්‌ත ක්‍ෂේක්‍රයන්ගේ කඩා වැටීමේ පිළිබඳ කිසිදු ආකාරයකින් සවිංඥනික නොවන ඔවුන් ඔවුන්ගේ ලෝකවල ජීවත් වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස ඉතා නින්දාසහගත අයුරින් තමන්ගේ වගකීම් පැහැර හරිමින් සිටින නිසා අධ්‍යයන කාලය අවසන් ව සරසවියෙන් පිටවන ශිෂ්‍යයන් සමාජය ඉදිරියේ විහිළුවක්‌ බවට පත්වීම බේදයක්‌ බව කීවේය.

මෙරට විශ්වවිද්‍යාලවල අද තත්ත්aවය පිළිබඳ හැකි සෑම අවස්‌ථාවකදීම "වඩමඩල" ඔස්‌සේ කරුණු දක්‌වන්නට නිරෝධ ඉඩකඩ ලබාගත්තේය. ඒ සෑම අවස්‌ථාවකම අවධාරණය කළේ මේ පවතින සමාජ විකෘතිය යම් පමණකට හෝ ප්‍රකෘතියක්‌ බවට පත් කරනට විශ්වවිද්‍යාලය මීට වඩා බරපතළ ලෙස මැදිහත් විය යුතු බවය. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෝ විද්‍යාර්ථින් සියල්ලන්ම එම මැදිහත්වීම නොකරන බව නිරෝධ කියන්නේ නැත. එහෙත් බහුතරයක්‌ දෙනා රටේ දුප්පත් ජනතාවගේ මුදල්වලට කෙළෙහිගුණයක්‌ පානා බවක්‌ පෙනෙන්නට නැත. බොහෝ සරසවි ආචාර්යවරුන් කෙලෙහිගුණ පානුයේ ජනතාවගේ බදු මුදලුත් ගිල දමා, රටත් බදුගෙන සිටින අදමිටු දේශපාලකයන් වෙත වීමය. කණගාටුවට කාරණය 2010 මැතිවරණ සමයේ කැලණිය ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක්‌ කැලණිය ප්‍රදේශයේම දේශපාලකයකුගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක්‌ වී තිබූ අයුරු නොදන්නෙක්‌ නොවේ. ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක ඉහළම පුටුවක වැජඹෙන අයකු විශ්වවිද්‍යාලයත් අපකීර්තියට පත් කරමින් තමනුත් අපකීර්තියට පත්වන ලෙස කටයුතු කළ අයුරු විටින් විට අපි ඇසුවෙමු දුටුවෙමු. විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතිශය දේශපාලනික වුවමනා අරබයා ලඝූ කිරීමේ ඵලවිපාක දැන් අපි බුක්‌ති විඳිමින් සිටින බවයි නිරෝධට හැඟෙන්නේ.

විශ්වවිද්‍යාලයට දේශපාලනික අතපෙවීම් සිදුවන්නේ හෝ විශ්වවිද්‍යාලය දේශපාලන අතකොළුවක්‌ බවට පත්වන්නේ එහි වන ශාස්‌ත්‍රාලීය බවගිලිහී යැම නිසා බවය නිරෝධගේ අදහස. සප්තවාර්ෂික නිවාඩු ලබා අලුත් පර්යේෂණවල නියෑලී අලුත් දැනුම සොයාගෙනවිත් ශිෂ්‍යයන් විද්‍යාර්ථින් ලෙස සන්නද්ධ කරන ආචාර්යවරුන් නැතුවාම නොවේ.

නමුත් බහුතරයක්‌ දෙනා මේ නිවාඩුව ප්‍රයෝජනයට ගන්නේ කාමසුඛල්ලිකානු ජීවිතය උපරිමයට පත්කර ගැනීම සඳහාම බවය ප්‍රත්‍යක්‍ෂය. මේ අභාග්‍යය හොඳින්ම දැනෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාටය. ඉහත කී විද්‍යාර්ථියා නිරෝධ හමුවී තමන් තුළ වන හැඟීම් එසේ මුදා හැරියේ එහෙයිනි. එහෙත් මේ අනතුරට පවා සවිඥනික නොවන ශිෂ්‍යයන් අද විශ්වවිද්‍යාල තුළ බහුතරයක්‌ බවට පත්ව ඇත. උසස්‌ අධ්‍යාපන ඇමැතිගේ නායකත්ව පුහුණුවෙන් කරන්නේ ද ඒ බහුතරය අති බහුතරයක්‌ කිරීමට තල්ලුවක්‌ දීමය. එබඳු අති බහුතරයක්‌ කිරීමට තල්ලුවක්‌ දීමය. එබඳු අති බහුතරයක්‌ සිටින රටක උසස්‌ අධ්‍යාපන ඇමැති බඳු ඇමතිවරුන් ට දේශපාලනය කිරීම පහසුය. අද අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ශිෂ්‍යයින් පෙළගස්‌වමින් සිටින්නේ ඒ දිශාවටය.

මෙරට විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින තවත් බරපතල ගැටලුවක්‌ නම් අලුත් දැනුම සමග සන්නන්ධ නොවීමය. ජනසන්නිවේදනය හා තොරතුරු තාක්‌ෂණය අද ලෝකයේ ප්‍රභලම විෂයයන් බවට පත්ව ඇතත් අපේ විශ්වවිද්‍යාලවල ජනසන්නිවේදන ආචාර්ය මහාචාර්යවරුන්ට විල්බර්ශාම් ගෙන් තොර සන්නිවේදන ආකෘතියක්‌ ගැන හිතන්නට බැරිය. කනගාටුවට කාරණය නම් ශාස්‌ත්‍රවේදී උපාධියට ඉගෙන ගන්නා විෂය මාලාවම ශාස්‌ත්‍රපති උපාධියටත් හදාරන්නට සිසුන්ට සිදුවීමය. මේ ආකෘති රාමු බිඳ දමා අලුත් චින්තනයකින් ශිෂ්‍යයන් සන්නද්ධ කළ හැකි ආචාර්යවරුන් ඇතත් බොහෝ විට ඔවුන්ට සිදුවන්නේ බාහිර කථිකාචාර්යවරුන් ලෙස සිටිමින් මහා සයුරක්‌ බඳු ඔවුන්ගේ දැනුමින් දිය දෝතක්‌ පමණ තරමක්‌ ශිෂ්‍යයන්ට බෙදා දෙන්නටය.

මේ අතර තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කොටසක්‌ සිටින්නේ අතීතකාමයෙන් මත්වී බවය නිරෝධ දකින්නේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ආදී විද්වතුන් මේ රටේ චින්තනයේ බලකණු බවට නිරෝධ ට විවාදයක්‌ නැත. එහෙත් එතැනින් මෙහා සංවාදයට බඳුන්විය යුතු නිර්මාණ මේ රටේ බිහි නොවුණාසේය. ආචාර්ය මහාචාර්යවරුන් බොහෝ දෙනකු අද කටයුතු කරනුයේ. අඩුපාඩුවලින් යුතු පතපොත ගැන නිර්දය විවේචන කරන මෙබඳු පුද්ගලයන් සාර්ථක නිර්මාණ ගැන වචනයකුදු නොකියන්න ට වගබලා ගනී. උපාලි උභයසේකරගේ නවතාවට අත්වූයේද මේ ඉරණමය. එක්‌තරා ආකාරයකට මෙය කුලවාදයක්‌දැයි නිරෝධ කල්පනා කරයි. මන්ද එදාත් ජී. බී. සේනානායක, සයිමන් නවගත්තේගම බඳු ලේඛකයන්ගේ නිර්මාණ කතාබහට ඉඩක්‌ නොවූ නිසාය.

විශ්වවිද්‍යාලය මෙබඳු ඉමකට තල්ලුවීම සුබදායක නැත. එය සමස්‌ත සමාජයෙම චිත්තනය මොට කිරීමක්‌ ලෙසය නිරෝධ දකින්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවතක්‌සේරුවට ලක්‌ කරන උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයෙක්‌ සිටින තත්ත්වය විශ්වවිද්‍යාලය ආචාර්යවරුනුත් සිය වගකීම් පැහැර හරී නම් රටට කෙබඳු ඉරණමක්‌ අත්වේද යන්න පැහැදිලි නැත. එහෙයින් යළිත් වැලිවිටියේ සෝරත හිමියන් බඳු විශ්වවිද්‍යාලය ආචාර්යවරුන්ගේ පෙරමුණක්‌ ඇතිවිය යුතු බවය නිරෝධ කල්පනා කරනුයේ.

නිරෝධ

No comments:

Post a Comment