Thursday, June 21, 2012















"අමර"ලා සහ අමරෙලා




නිරෝෂන් හැඳලගේ

ආණ්‌ඩුවේ "ජාතික ගුවන්විදුලිය" මේ දිනවල උදෑසන ගුවන් කාලය වෙන් කර ඇත්තේ පුවත්පත්වල පළවන ප්‍රවෘත්ති හා එම ප්‍රවෘත්ති පළ කළ යුතු ආකාරය ගැන පංති පවත්වන්නට ය. ප්‍රවෘත්තිය විවේචනය කිරීමටත් එහා ගොස්‌ අදාළ පුවත්පතේ හිමිකාරීත්වය හා මතවාදයට චෝදනා කිරීම ද නිවේදකයා අතින් සිදුවෙයි. පෙරේදා (20 වැනිදා) උදෑසන වැඩසටහනින් ගුවන්විදුලි නිවේදකයා පුවත්පත්වල පලු ඇරියේ රටේ අපරාධ රැල්ලක්‌ ඇතැයි පෙන්වීමට පුවත්පත් උත්සාහ දරන බවට චෝදනා කරමිනි. වැඩසටහන ඉදිරිපත් කළ නිවේදකයාට හොඳටම තරහ ගොස්‌ තිබුණි. "ජුලම්පිටියේ අමරේ", කඩුවෙල අරයා......., කැලණියේ මෙයා...... බොරැල්ලේ අරයා...... ආදී වශයෙන් අපරාධකරුවන් හඳුන්වා ඔවුන්ට සහ ඔවුන්ගේ අපරාධවලට සහය දෙන්නේ පුවත්පත්වලින් බව ය නිවේදකයාගේ අදහස වුණේ. රටේ අපරාධ රැල්ලක්‌ නැති බවටත් සිදුවී ඇත්තේ ජනමාධ්‍ය විසින් අනවශ්‍ය ලෙස ප්‍රවෘත්ති පළ කිරීම නිසා එබඳු අදහසක්‌ ඇති වීම බවටත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් කළ කතාවක්‌ ඒ අතරම ප්‍රචාරය කරමින් තමන්ගේ නිවේදන කාර්යයේ පාරිශුද්ධභාවය තහවුරු කිරීමටත් අදාළ නිවේදකයා අමතක නොකළේය.

ඉන් අනතුරුව ඔහු තවත් අපූරු ප්‍රවෘත්ති විවරණයක්‌ කළේය. කටුවනදී සිදු වු ද්විත්ව ඝාතනය ට එරෙහි ව ජනතා විමුක්‌ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණය පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ජනතාව ප්‍රකෝප කිරීමට ගත් උත්සාහයකැයි එහිදී කියා සිටියේය.

කටුවන ඝාතන සිද්ධිය වූ දින රාත්‍රියේ ජාතික ආරක්‍ෂාව පිsළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ලේ කියා සිටින්නේ, "හම්බන්තොට වෙඩි තැබීම ජවිපෙ දෙපිරිසක්‌ අතර ඇති වූ ගැටුමක්‌" කියා ය. එහිදී පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා ද කියා සිටින්නේ මෙය ජවිපෙ හැරගිය පිරිසකගේ ක්‍රියාවක්‌ විය හැකි බව ය.

නැවත ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානය මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ ජවිපෙ විසින් එක්‌ එක්‌ අවස්‌ථාවලදී ඉවත්ව ගිය පිරිස්‌වලට කළ පහරදීම් පිළිබඳව පොලිස්‌පතිවරයාට පැමිණිලි ලැබී ඇති බව ය.

මේ අතර ජුනි මස 17 වැනිදා "දිවයින" පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල කියා සිටින්නේ ඝාතනය සම්බන්ධයෙන් රජයට ඇඟිල්ල දිගුකරන්නේ නම් සැකකරුවන් සම්බන්ධව ද තොරතුරු හෙළිදරව් කළ යුතු බව ය.

ඊට පසු දින එනම් ජුනි 18 වැනිදා ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයට පැමිණෙන පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් කියා සිටින්නේ "කටුවන සැකකරුවන් අල්ලන්න එපා" යෑයි කිසිම බලපෑමක්‌ තමන්ට නැති බව ය.

මේ සියලු ප්‍රකාශ සිදු කෙරෙන්නේ ජුනි මස 15 වැනිදා කටුවනදී ජනතා විමුක්‌ති පෙරමුණේ රැස්‌වීමට පහරදී දෙදෙනකු ඝාතනය කළ මැර පිරිස අතර "ජුලම්පිටියේ අමරේ" නමැති මැරයා සිටි බවට කටුවන පොලිසියට එදිනම පැමිණිල්ලක්‌ ලැබී තිබියදී ය. එහෙත් ඝාතනය සිදුවී දින පහක්‌ ගත වූ තැන එනම් ජුනි මස 19 වැනිදා "ජුලම්පිටියේ අමරේ" තංගල්ල මහාධිකරණයට භාර වන්නේය. ඒ මෙරට අධිකරණ ඉතිහාසය ට අලුත් පිටුවක්‌ එක්‌ කරමින් බන්ධනාගාර නිලධාරීන්ගේ සියලු ආරක්‍ෂාව යටතේ ය.

ජුලම්පිටියේ අමරේ කව්ද? ටී 56 ඇතුළු අවි ආයුධවලින් සන්නද්ධ ව සිටීමට ඔහුට ඇත්තේ කාගේ අවසරයක්‌ ද? ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රාදේශීය මට්‌ටමේ රැස්‌වීමකට ඔහු පහර දෙන්නේ ඇයි? පුද්ගල ඝාතන දෙකක්‌ සිදුවී බරපතළ තත්ත්වයක්‌ පවතිද්දී මෙය ජවිපෙ සහ ඉන් වෙන්වී ගිය පෙරටුගාමී පක්‍ෂය අතර ගැටුමක්‌ ලෙස හුවා දක්‌වන්නට ආණ්‌ඩුව උත්සාහ ගන්නේ ඇයි? ඝාතනයේ ප්‍රධාන සැකකරු පිළිබඳ කටුවන පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබිය දීත් ඔහු බාර වන තුරුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකරන්නේ ඇයි? සැකකරු අත්අඩංගුවට නොගන්නැයි තමන්ට කිසිදු බලපෑමක්‌ නැතැයි මාධ්‍ය හමු පවත්වා කියා සිටින්නට පොලිස්‌පතිවරයාට සිදුවන්නේ ඇයි? ඝාතන සිද්ධියට සම්බන්ධ යෑයි කියන ජුලම්පිටියේ අමරේ නමැත්තා සිටිනා තැනක්‌ දන්නා අයෙක්‌ ඇත්නම් පොලිසියට සහාය වන්නැයි ඉල්ලා සිටින තත්ත්වයට පොලිස්‌පතිවරයා අසරණ වන්නේ ඇයි?

මේ හම්බන්තොට, කටුවන හැඳිවත්ත ප්‍රදේශයේ ජනතා විමුක්‌ති පෙරමුණේ ජන හමුවකට පහරදී දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේත් තවත් කීපදෙනකුට බරපතළ තුවාල සිදු කිරීමේත්, සිදුවීම සම්බන්ධයෙන් කාටත් ඇතිවන ප්‍රශ්න ය. මේ ප්‍රශ්නවලින් කීපයකට දැනටමත් පිළිතුරු ලැබී ඇති අතර පිළිතුරු නොලැබුණු සහ පිළිතුරු ලැබේ යෑයි බලාපොරොත්තුවක්‌ හෝ තැබිය නොහැකි ප්‍රශ්න කීපයක්‌ද වෙයි.

ගීගන ගමගේ අමරසිරි නොහොත් "ජුලම්පිටියේ අමරේ" නමැත්තා විවෘත වරෙන්තුවක්‌ මත තංගල්ල මහාධිකරණයට බාර වෙන්නේ 2003 වසරේදී මිද්දෙණිය ප්‍රදේශයේ සිදු කළ මිනීමැරුම් නඩුවකට වරෙන්තුකරුවකු ව සිටි නිසා ය. මේ වනවිටත් තංගල්ල මහාධිකරණය විසින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු සියයකට වැඩි ප්‍රමාණයක්‌ නිකුත් කර ඇති බව තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ මහතා විවෘත අධිකරණයේදී කියා සිටියේය. එපමණක්‌ ද නොව පසුගිය දිනෙක මොහු තංගල්ල බන්ධනාගාරයේ සිටින සැකකරුවකු බැලීමට පැමිණ ඇති බවත් බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරිවරයකු විසින් මොහු ප්‍රධාන ගේට්‌ටුවෙන් ම බන්ධනාගාරය තුළට රැගෙන ගොස්‌ අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවත් විනිසුරුවරයා අනාවරණය කළේය.

තංගල්ල මහාධිකරණ විනිසුරුවරයාගේ ප්‍රකාශය දකින අප පුදුමයට පත්වන්නේ ජුලම්පිටියේ අමරේ සිටින තැනක්‌ දන්නවා නම් කියන්නැයි කීමට තරම් පොලිස්‌පතිවරයා අසරණ වූවේ ඇයිද යන්න යි. ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල නම් මෙබඳු ප්‍රකාශ කිරීමේ හැකියාව උපතින්ම ගෙනා දක්‍ෂකමක්‌ බව කවුරුත් දනීS. නමුත් මේ රටේ ආරක්‍ෂාව සම්බන්ධව ඉහළම තනතුරක්‌ දරන නිලධාරියකු ලෙස පොලිස්‌පතිවරයා මෙබඳු බොළඳ ප්‍රකාශයක්‌ කළේ මේ රටේ පොලිස්‌ සේවාවේ කිසියම් අඩුපාඩුවක්‌ නිසාද එසේ නැතිනම් හිටපු පොලිස්‌පති මහින්ද බාලසූරියට අත්වූ ඉරණම තමන්ටත් අත්වේ යෑයි වූ බිය නිසා ද යන්න අපි නොදනිමු. කොහොම වෙතත් පොලිසියට තබා යුද හමුදාවටවත් කිට්‌ටු කරන්නට නොහැකිව තිබූ මුලතිව් කැලයේ සැඟව සිටි රටම බියවැද්දූ එල්. ටී. ටී. ඊ. නායකයා ඇතුළු සගයන් කීපදෙනකු මරා තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගන්නට පුළුවන් වූ රටේ, ටී 56 ක්‌ එල්ලගෙන පිස්‌සු කෙළින අමරේ අල්ලන්න බැරි "අමර" අයියලා ශ්‍රී ලංකා පොලිස්‌ සේවාවේ සිටින බව නම් ඔප්පුකොට හමාර ය.

ජුලම්පිටියේ අමරේ ඇතුළු පිරිසට ජනතා විමුක්‌ති පෙරමුණේ කුඩා ජන හමුවකට පහරදීමටත්, ක්‍රියාකාරීන් දෙදෙනකු මරා දැමීමටත් තිබූ වුවමනාව කුමක්‌දැයි දැන් පහදාගත යුතු වෙයි.

"ලංකා ඉරිදා සංග්‍රහය" පුවත්පත ජනතා විමුක්‌ති පෙරමුණට සම්බන්ධ පුවත්පත බව අමුතුවෙන් කිවයුතු නැත. එම පුවත්පතේ පසුගිය මැයි මස 13 වැනිදා කලාපයේ "මැදමුලනෙන් කිරිපොවන දඩබල්ලා බැඳ දමනු" හිසින් ලිපියක්‌ පළවිය. එය ජුලම්පිටියේ අමරේ නමැත්තකු විසින් සිදුකළ හා සිදු කරමින් සිටින අපරාධ සම්බන්ධ තොරතුරු හෙළිදරව් කළ ලිපියකි. (අදාළ ලිපිය www.lankatruth.com වෙබ් අඩවියෙන් දැන් කියවිය හැක).

කටුවන හැඳිවත්තේ ජවිපෙ රැස්‌වීමට මැර ප්‍රහාරයක්‌ එල්ල වීමට හේතුව මේ ලිපිය යෑයි යමකුට තර්ක කළ හැක. එවිට එය "ලංකා ඉරිදා සංග්‍රහය" අයිති ජනතා විමුක්‌ති පෙරමුණ හා ජුලම්පිටියේ අමරේÊඅතර වන පෞද්ගලික ප්‍රශ්නයක්‌ ලෙස ද තවකකු ට විග්‍රහ කරගත හැක. ප්‍රශ්නය එය නොව අමරේ හා ජවිපෙ අතර කෝන්තරයකින් මේ සිදුවීම වුණා නම් සිද්ධියෙන් පැය දෙකක්‌ ඉක්‌ම යන්නටත් පෙර ආණ්‌ඩුව ජාතික ආරක්‌ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලවා මේ සිද්ධිය ජනතා විමුක්‌ති පෙරමුණේම දෙපිරිසක්‌ අතර ඇති වූ ගැටුමක්‌ කීමට ඉක්‌මන් වූයේ ඇයි ද යන්නයි. මෙයින් පේන්නේ ආණ්‌ඩුව "නැති ලෙඩ දාගන්නට" ඉක්‌මන් වන බවයි. ජනතා විමුක්‌ති පෙරමුණෙන් වෙන්වී ගිය පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනකු වූ කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීමේ සිද්ධිය වූ අවස්‌ථාවේදී ද ආණ්‌ඩුව මෙබඳු ගොං වැඩක්‌ කළේය. එහිදී ද අදාළ පැහැරගෙන යැම ජනතා විමුක්‌ති පෙරමුණේ වැඩක්‌ ලෙස රටට කියන්නට ආණ්‌ඩුවේ මාධ්‍ය පමණක්‌ නොව මෙබඳු අවස්‌ථාවල "පැනලා දෙන" මැති ඇමැතිවරුන් ද ඉක්‌මන් විය. අවසානයේ ආගමන විගමන නීති උල්ලංඝනය කර රට ට ඇතුළු වී සිටි කුමාර් ගුණරත්නම් කිසිදු නීති ක්‍රියාමාර්ගයක ට යටත් නොවී සුවසේ ඔස්‌ටේ්‍රලියාව බලා පියාසර කළේය. ආණ්‌ඩුව මුලින්ම කී පරිදි ම පැහැර ගැනීම කළේ ජනතා විමුක්‌ති පෙරමුණ නම් ඔවුන්ට එරෙහි ව අදටත් නීතිය ක්‍රියාත්මක නොවූයේ ඇයි ද යන්න නොතේරෙන්න ට තරම් මේ රටේ ජනතාව "බබ්බු" නොවන බව මේ ආණ්‌ඩුව මීට වඩා බුද්ධිමත්ව කල්පනා කළේ නම් වැටහෙනු ඇත.

කෙසේ වුවත් යම් අපරාධයකට සම්බන්ධ පුද්ගලයකුගේ නමක්‌ පැමිණිල්ලක සටහන් වේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම පොලිසිය කළ යුතු මුල්ම කාර්යයි. ද්විත්ව ඝාතනයක්‌ සිදුවී තිබියදීත්, ඝාතනය සිදුවී ඇත්තේ අනවසර ගිනි අවි භාවිතයෙන් බවට සාධක තිබියදීත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌පතිවරයා විසින් ම උදව් ඉල්ලා සිටීමත්, අවසානයේ මීට වසර 09 කට ඉහතදී (2003) නිකුත් කළ වරෙන්තුවකට අනුව සැකකරු අධිකරණයට භාරවීමත් මේ රටේ නීතිය ද දේශපාලනය ම බඳු එන්ටර්ටේන්මන්ට්‌ එකක්‌ (විනෝද ක්‍රීඩාවක්‌) බවට පත් වී ඇති බව ය කියා පාන්නේ.

මේ ඝාතන සිද්ධියේ දී ආණ්‌ඩුව ට එරෙහිව එල්ල වන චෝදනාවලින් ගැලවී යැමට රාජ්‍ය මාධ්‍ය පමණක්‌ ප්‍රමාණවත් නොවන බව තේරුම්ගත යුතුව ඇත. ජනතා විමුක්‌ති පෙරමුණ විසින් 71, 88 සමයේ සිදුකළ ඝාතන පෙළගැස්‌වීමෙන්, රටේ මීට පෙරත් පාතාල කල්ලි සිටි බව කීමෙන් හා හාරලක්‌ෂයේ මංකොල්ලය, සමන් කුමාර ඝාතනය, කතරගම රූමතිය ඝාතනය බඳු ඝාතන මේ රටේ සිදු වූවා යෑයි "සුභාරතියෙන්" ප්‍රචාරය කිරීමෙන් කටුවන ඝාතනය සාධාරණීකරණය කළ හැකි යෑයි ජනමාධ්‍ය ඇමැතිවරයා තීන්දු කරයි නම් ඔහු මේ මොහොතේ ම තම අමාත්‍යංශය විෂය පිළිබඳ දැනුමැත්තකු ට භාරදී කුණු එකතු වෙන්නේ නැති අමාත්‍යංශයක්‌ ඉල්ලා ගත යුතු ය.

මේ අතර සභානායක නිමල් සිරිපාල ද සිල්වා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක්‌ පෙරේදා (20 වැනිදා) පුවත්පත්වල පළවිය. පුවත්පත්වල පළවී තිබූ එම ප්‍රකාශයට අනුව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා ආණ්‌ඩුවේ කොයි අඩුපාඩුවත් වසා ගැනීමට ඇති "කෝකටත් තෛලය" වන යුද ජයග්‍රහණය පිළිබඳ පුරසාරම් දොඩා ඇත. අප නිතර කියා සිටින්නා සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත ක්‍රියා මුලිනුපුටා දමා ලද යුද ජයග්‍රහණයේ ගෞරවය මේ ආණ්‌ඩුවට දීමට ද කිසිවෙක්‌ ලෝභ නොවනු ඇත. ඒත් ආණ්‌ඩුව පමණක්‌ නොව රට අපවාදයට පත්කරන මෙබඳු නින්දිත ඝාතන ක්‍රියාවක්‌ සම්බන්ධ ප්‍රකාශයකට ගෞරවනීය යුද ජයග්‍රහණය ඈ¹ එය බාල්දු කිරීමට කිසිවකුටත් අයිතියක්‌ නැත.

දැන් කවුරු කොහොම තර්ක කළත් කටුවන දී වෙඩි ප්‍රහාරයෙන් මියගිය දියණියන් තිදෙනකුගේ මවක වන මාලනී මහත්මියට හෝ නිමන්ත හේෂාන් තරුණ මහතාට පණ එන්නේ නැත. පසුගිය පෙබරවාරි මාසයේ දී හලාවත ප්‍රදේශයේ ධීවර උද්ඝෝෂණයකට එල්ල කළ පොලිස්‌ ප්‍රහාරයක දී වෙඩි වැදී තුවාල ලබා එක්‌තැන්ව සිටි හතළිස්‌ හැවිරිදි සිව්දරු පියකු වූ ඡේසුමරිය කිංස්‌ලි මහතා පසුගියදා සියදිවි නසා ගත්තේය. ඒ ඔහුගේ වැඩිමහල් පුතු පාසල් ගමන අතහැර දමා නිවසේ බර කරට ගනු පියකු ලෙස බලා සිටිය නොහැකිව ය. ආණ්‌ඩුවේ පෞද්ගලික විශ්‍රාම වැටුපට එරෙහි කටුනායක උද්ඝෝෂණයේ දී පොලිස්‌ වෙඩි පහර කා මියගිය තරුණයාගේ ආදරණීයයන්ට ද උරුම වූයේ එබඳුම වේදනාවකි.

එහෙයින් දේශපාලන කැණහිලුන්ගේ ලේ ඉවට අහිංසක ජනතාව තවදුරටත් ගොදුරු විය යුතු නැත. "අමර" ජීවිත ගත කරන්න ට අමරේලා පාවිච්චි කරන මේ රටේ නින්දිත දේශපාලනය පිළිබඳ ජනතාව අවදි විය යුතු ය. අවාසනාව නම් එසේ අවදි කළ හැකි පෙරමුණක්‌ රටට නැතිකම ය.

divaina-22-June-2012

No comments:

Post a Comment