Thursday, June 28, 2012


ලේඛකයා පිළිමයක්‌ කොට වන්දනා කිරීම


ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ, "රූපාන්තරණය" නවකතාව දොරට වැඩීමේ උත්සවයේ දී පැවති දේශන අළලා පළකළ පසුගිය සතියේ වටමඬල චින්තාවලී සටහනෙහි ශීර්ෂ පාඨය සම්බන්ධයෙන් ආචාර්ය ගුණදාස අමරසේකරයන් ට සිත් තැවුලක්‌ විණි නම් ඒ පිළිබඳ නිරෝධ සිය කනගාටුව මෙසේ පළකර සිටී. මේ කනගාටුව පළකිරීම සිදු වන්නේ අමරසේකරයන් විසින් ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක්‌ පළ කිරීමක්‌ නොකළ තත්ත්වයක්‌ යටතේ බවද සඳහන් නොකළේ නම් අඩුවකි.

අදාළ සටහනේ කිසිදු තැනකදී ශීර්ෂ පාඨයේ සඳහන් ආකාරයෙන් අමරසේකරයන් ආමන්ත්‍රණය කොට නැත. තීරු ලිපියක වේවා වෙනයම් විශේෂාංගයක හෝ ප්‍රවෘත්තියක වුව ශීර්ෂ පාඨ යෙදීම අදාළ රචනාවට ආකර්ෂණයක්‌ ලබා ගැනීමේ සෛද්ධාන්තික අරමුණෙන් කරන්නකි. එහෙත් ශීර්ෂ පාඨය අර්බුදයක්‌ කොටගෙන පුවත්පතේ ජාතිකත්වය සහ සිංහල බෞද්ධකම ප්‍රශ්න කරන්නට තරම් භක්‌තිවන්ත වූ දෙතුන් දෙනා සම්බන්ධයෙන් නිරෝධ කනගාටු වෙයි.

"රූපාන්තරණය" එළිදැක්‌වීමේ උළෙල සඳහා සෘජුවම සම්බන්ධ වූ පුද්ගලයකු නිරෝධට කියා සිටියේ "අමරසේකර මහතා ආමන්ත්‍රණය කොට ඇති ආකාරය "දිවයින" පුවත්පත ජාතියට සරම ඔසවා පෙන්වීමක්‌ බවය. ඔහුගේ ප්‍රකාශයේ අනියම් අර්ථය නම් ගුණදාස අමරසේකර යනු ජාතික අනන්‍යතාව බවය. ලේඛකයා යනු එබඳු ලඝූ සඳහනකින් අර්ථ ගැන්විය හැකි පුද්ගලයකුද? නිරෝධගේ අදහස වන්නේ ලේඛකයා සමාජයක ඉදිරි ගමනට ආලෝකය සපයමින් සමාජයට ඉදිරියෙන් යන චින්තකයකු බවය. ජාතිය, ආගම, සංස්‌කෘතිය, දර්ශනය යනු එබඳු චින්තකයකු පෝෂණය කරනා ආහාර මිස වහලකු බවට පත්කර ගන්නා රදලයන් නොවන බවය. සල්මන් රෂ්ඩිට, ටස්‌ලිමා නස්‌රීන්ට රට හැර යන්නට සිදු වන්නේ චින්තනයට මුල්තැන දුන් එබඳු ලේඛන කලාවක නිරත වීම නිසාය.

නිරෝධ පසුගිය සතියේ චින්තාවලී සටහනේ ශීර්ෂ පාඨය යෙදූයේ "ගුණදාස අමරෙ, ලියනගේ අමරෙ සහ ජූලම්පිටිය අමරෙ" යනුවෙනි. ලිපියක ශීර්ෂ පාඨය පමණක්‌ කියවා පූර්ව නිගමනවලට එළඹීමේ කුහක සදාචාරයක්‌ මේ රටේ ඇත. එය හරියට අශෝක හඳගම කළ චිත්‍රපටයක්‌ නම් නො නරඹාම එය සමාජ විරෝධී චිත්‍රපටයක්‌ ලෙස හංවඩු ගැසීමක්‌ බඳුය. සුමිත්‍රා රාහුබද්ධගේ හෝ සුනේත්‍රා රාජකරුණානායක ගේ පොතක්‌ නම් නොකියවාම එය ගැහැණුන්ගේ කාම පිපාසාව හෙළි කිරීමකැයි හංවඩු ගැසීමක්‌ බඳුය. එහෙයින් අද මේ රටේ නිර්මාණකරුවකු ලෙස ගෞරව සම්මානයෙන් පුද ලද හැක්‌කේ ඊනියා ජාතික චින්තනය, ජාත්‍යානුරාගය ඉහළට ඔසවා තැබිය හැකි නම් පමණය. විදුලිබලය අර්බුදයක්‌ බවට පත්ව තිබියදී ජනතාවට කළුවරේÊ ඉන්නැයි කියා කොළඹ වීදිවල

රෑ එළිවන තුරු මෝටර් රථ ධාවන තරග පැවැත්විය හැක්‌කේ ඒ ජාතික චින්තනයට පිංසිදු වන්නටය. ජූලම්පිටිය අමරේ බඳු චරිත ගොඩනැඟෙන්නේ ඒ ජාතික චින්තනයට පිංසිදු වන්නටය. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි එදා කියන්නට උත්සාහ කළේත්, පැහැදිලිව නොකිව්වේත් ඊනියා ජාතික චින්තනයේ මේ යථාර්ථය ගැනය.

කෙසේ වුවත් නිරෝධ කනගාටු වන්නේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් එබඳු කුහක චින්තකයන් විසින් වන්දනාමාන කරන පිළිමයක්‌ බවට පත්කිරීම ගැනය.

අමරසේකරයන් "ගමනක මුල" නවකතාවෙන් අරඹා "ගමනක අග" දක්‌වා නවකතා නවයක්‌ රචනා කිරීමෙන් උත්සාහ කළේ මෙරට "මැද පංතියේ පරිණාමය" ඔස්‌සේ රටේ සමාජ විකාශනය පිළිබඳ විවරණයක්‌ කිරීමටය. එය ජ්‍යෙෂ්ඨතම ලේඛකයකු ලෙස අමරසේකරයන් මෙරට ලේඛන කලාවට කළ අභීෂ්ට යුතුකමක්‌ ලෙසය නිරෝධ දකිනුයේ. එහෙත් ප්‍රබන්ධකරුවකු ලෙස අමරසේකරයන්ගේ මෙම නවකතා පෙළ ශිල්පීයමය වශයෙන් හා නිර්මාණාත්මක වශයෙන් පළකරන අඩුලුහුඬුකම් පිළිබඳවද සාකච්ඡාවක්‌ පවතී. ඒ සාකච්ඡාවට මැදිහත් වන්නේ අමරසේකරයන්ගේ පිළිම හදාගෙන වන්දනා කරන්නවුන් නොව කරුමක්‌කාරයෝ, යළි උපන්නෙමි, දෙපා නොලද්දෝ, ගන්ධබ්බ අපදානය බඳු අමරසේකර චින්තනයේ ආලෝකයෙන් ප්‍රභාව ලද්දවුන්ය. රූපාන්තරණය හෙවත් සෝමදේවගේ සංක්‍රාන්තියෙන් අමරසේකරයෝ ඒ සාකච්ඡාවට යළි උත්තේජනයක්‌ සපයා ඇත. "ගමනක අග" නවකතාව පිළිබඳ ස්‌මරණයෙන් ඔහු රූපාන්තරණයේ දී මෙබඳු සටහනක්‌ තබයි.

"එමෙන්ම ත්‍රස්‌තවාදය අවසන් කිරීමෙන් පසු යළි මෙරටට පැමිණෙන කතානායකයා දකින්නේ ත්‍රස්‌තවාදය - රෝග ලක්‌ෂණය ඉවත් වුවද, රෝග නිධානය එලෙසම පැසවමින් පවතින බවය. එයට පිළියම් කිරීමට සූදානම් වූ පිරිසක්‌ හෝ ප්‍රබුද්ධ බලවේගයක්‌ හෝ ඔහු නොදකියි. දශක කීපයක්‌ පුරා ලියලා වැඩුණු මේ මෝහාන්ධකාරය දුරලනු වස්‌ ප්‍රඥ ප්‍රදීපයක්‌ දැල්වීමට මුළු ජීවිත කාලය තුළම තමා ගත් ව්‍යායාමය නිෂ්ඵල වී ඇති බව ඔහු දකින්නේ කලකිරුණු මනසිනි..."

රූපාන්තරණය නවකතාවෙන් ගත් මේ උපුටනයද පැහැදුණු සිතින් කියවන්නැයි නිරෝධ ඉල්ලීමක්‌ කරයි.

"ඒක හරි... සිංහල බෞද්ධාගම දැන් අන්තර්ගතයක්‌ නැති ලේබලයක්‌ වුණාට ඒකට ගරහන්නවත් එහෙම දෙයක්‌ නැතිය කියන්නවත් කිසි කෙනකුට පුළුවන්කමක්‌ නැහැ. ඒක අන්තර්ගතයක්‌ නැති ලේබලයක්‌ කළේ මේ රටේ හිටිය කපටි දේශපාලකයො..."

නිරෝධ අමරසේකරයන්ගේ මැදිහත් වීම අපේක්‍ෂා කරනුයේ මේ කපටි දේශපාලනය පිළිබඳ මීට වඩා රට අවදි කිරීමටය. අමරසේකරයන්ට මේ සමාජය වෙනුවෙන් වන වගකීම ඉටුකළ යුතු කාර්යභාරය තවමත් අවසන් වී නැත.

watamadala-28-June-2012

No comments:

Post a Comment