Friday, June 15, 2012


රත්‍රං, මැණික්‌, තෙල් නිධන් වස්‌තු හා පුරාවස්‌තු


රට කරවන්න නම්

මසුරං ඇතිව කැටේ

වටිනා කියන දේ

විකිණිය යුතුය රටේ

අමන දනන් කෑ ගැසුවත්

හතර වටේ

මේවා නොවික්‌කොත්

අපි හැම මකර කටේ...

නන්දා මාලිනී ගායනා කරන මේ ගීය නිරෝධ ට සිහිපත් වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් පසුගිය සති අන්තයේ මව්බිම පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාව කියෑවූ විට ය. භික්‍ෂු ප්‍රතිපදා පරයා දේශපාලනයත්, පුරාවිද්‍යාවත් වෙනුවෙන් ම සිය ජීවිතය කැප කළා වූ ඒ හිමියෝ වරෙක රටේ බොහෝ පුරාවිද්‍යාත්මක සිද්ධස්‌ථාන සොයාගෙන ඒවා පිළිබඳ මත පළ කළ හ. නිරෝධ ට හැඟෙන්නේ ඒ හිමියෝ පුරා වස්‌තු පිළිබඳ හොඳ ම මතය පළකර ඇත්තේ දැන් බව ය. එය මෙසේ උපුටා දක්‌වන්නෙමි.

"මේ නිධන් වස්‌තු හෝ පුරාවස්‌තු අතීතයේ දී හෝ වර්තමානයේදී හොරෙන් හාරනවා නම් ඒක නීති විරෝධීයි. ඒකට දඬුවම් දිය යුතුයි. නමුත් පොළොව යට තිබෙන සම්පත්වල අයිතිය තිබෙන්නේ රජයට. ඒ නිසා මහජනතාව දැනුවත් කරලා පොළොව යට තිබෙන ධන සම්පත් රජය සතු කර ගන්නවා නම් වඩා හොඳයි, කියලයි මා කියන්නේ. ඒක රජය නොකරන නිසා තමයි හොරුන් තැන තැන හාරලා මේ නිධන් වස්‌තු හොරකම් කරන්නේ. නිධන් කියන්නේ පොළොව යට තිබෙන මැණික්‌, රත්‍රන්, තෙල් වගේ ස්‌වාභාවික සම්පත්" (මව්බිම 2012 මැයි 13 වැනිදා ඉරිදා)

මහාචාර්ය එච්. සී. පී. බෙල්, මහාචාර්ය සෙනරත් පරණවිතාන ආදී මේ රටේ පුරාවිද්‍යාවට මහඟු සේවාවක්‌ කළ වියතුන් එදා මෙබඳු මතයක්‌ පළ කළේ නම් අද ශ්‍රී ලංකා රජය බෲනායි රාජ්‍යයටත් වඩා වත් පොහොසත්කම්වලින් පිරුණු රජයක්‌ නොවන්නේ දැයි නිරෝධ ට සිතේ. අනේෘ රටේ පාලකයන්ගේ ඔළු පාදන්න ට මෙබඳු අනුශාසනා පැවැත්වීමේ ආනිශංසයෙන් චක්‍රවර්තී හිමියෝ මේ භවයේදී ම නිවන් ලද යුතු නොවේදැයි නිරෝධ කල්පනා කරයි.

දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්‌තු, සප්ත අපරිහානි ධර්ම බඳු ධර්ම රාජ්‍යයක්‌ උදෙසාම වූ බෞද්ධ රාජ්‍ය පාලන ක්‍රම අනුගමනය කරමින් දැහැමින් සෙමෙන් රට පාලනය කරන අපේ පාලකයෝ රටේ මුරදේවතාවන් බඳු භික්‍ෂු සංඝයාගේ අනුශාසනා ඉස්‌මුදුනින් පිළිගන්නා බව නිරෝධ පමණක්‌ නොව හැමෝම දනී. එහෙයින් තවත් ප්‍රමාද නොවී මහ පොළොවට බරක්‌ වී ඇති නිධන් වස්‌තු, පුරාවස්‌තු ගොඩගෙන රට සුත මුදිත නොකළේ නම් ඒ පාපකර්මයෙන් අපේ දැහැමි පාලකයන් ට අපාගත ව දුක්‌ අනුභව කරන්නට වේදොaයි නිරෝධට දුකක්‌ ඇතිවේ.

පසුගියදා විලච්චියේ දී බැකෝ යන්ත්‍ර යොදාගෙන බලපත්‍රලාභී සොර කණ්‌ඩායමක්‌ (බැකෝ යොදවා නිධන් හෑරිය හැක්‌කේ බලපත්‍රලාභී සොරුන්ට හැර වෙන කාට ද?) නිධන් හෑරූ හැටි මුළු රටම දනී. අහෝ අවාසනාවක ට චක්‍රවර්තී හිමියන් ට ඒ දිනවල අධික ලෙස වැඩපළ තිබුණේ ලු. එසේ නොවිණි නම් විලච්චිය ට සිදුවූ මහා ජාතික අපරාධය උන්වහන්සේ සියෑසින් ම දැක ගන්නා බව ට නිරෝධ ට විශ්වාස ය. ඒ ගැන හිමියෝ මෙසේ පවසති.

"පසුගිය දවස්‌වල මට තිබ්බ වැඩ කටයුතු නිසා ඒ ස්‌ථානය ට යන්න බැරි වුණා. ඒ නිසා ඒ ගැන කවුරු මොනවා කිව්වත් මට යමක්‌ කියන්න බැහැ. එක එක්‌කෙනාගේ "වලු වලු" කතාවල ට පිළිතුරු දෙන්න මට බැහැ. ඒ ගැන පරීක්‍ෂා කරන තුරු මට ඔය ගැන පිළිතුරක්‌ දෙන්න බැහැ." (මව්බිම 2012 මැයි 13 වැනිදා ඉරිදා)

කෙසේ කොහොම වුණත් පසුගිය මාස කීපය ඇතුළත පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සිද්ධස්‌ථාන 113ක නිධන් හෑරූ සිද්ධීන් පොලිසිය ට වාර්තා වී ඇත. පොළොන්නරුව ඓතිහාසික ශිව දේවාල අංක 13 මේ බලපත්‍රලාභී නිධන් හොරුන්ගේ අලුත් ම ගොදුරයි. පොළොන්නරු ඓතිහාසික පූජා භූමියේ පිහිටා ඇති එම ශිව දේවාලය ඇතුළත ගල් ලෑල්ලක්‌ ඉවත් කර හාරා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එබඳු කැණීමක්‌ කළ බව දැනගන්නට නැති නිසා මෙය අපරාධයක්‌ බවට සහතික ය. පුදුමය ට කාරණය නම් ආරක්‍ෂිත ස්‌ථානවල පිහිටා ඇති පුරාවස්‌තුවල ට මෙසේ හානි කරනට හැක්‌කේ කෙසේද යන්න ය. එක්‌ අතක ට කොළඹ අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටා ඇති ජාතික කෞතුකාගාරයේ පුරාවස්‌තු කොල්ලකෑම ට හැකි විණි නම් මෙබඳු ස්‌ථාන ගැන කවර කතා ද?

මාස 5 ක්‌ ඇතුළත නිධන් හෑරීම් පිළිබඳ සිද්ධීන් සියයක ට වැඩි ප්‍රමාණයක්‌ වාර්තා වීම යනු කෙසේ තක්‌සේරු කළ යුතුදැයි නිරෝධට නොසිතේ. එහෙයින් නිරෝධ කල්පනා කරන්නේ මේ පුරා වස්‌තු ආරක්‍ෂා කර ගන්න ට නම් චක්‍රවර්තී හිමියන්ගේ අනුශාසනා පරිදි ම මෙතෙක්‌ නිධන් හෑරීම ට නොහැකි වූ සිද්ධස්‌ථානත් හාරා ඒවායේ ඇති පුරාවස්‌තුත් රත්‍රන්, මැණික්‌, තෙල් මෙන් ධනෝපායන මාර්ග බවට පත් කර රාජ්‍ය ආදායම ඉහළ නැංවූයේ නම් හොඳ ය කියා යි.

ලෝකයේ වැඩිම ආදායම් උපයන ජාවාරම් තුනක්‌ ඇත. ඉන් පළමුවැන්න අවි ආයුධ වෙළෙ¹ම යි. දෙවැන්න මත්ද්‍රව්‍ය වෙළෙ¹ම යි. තෙවැන්න බවට පත් වන්නේ පුරාවස්‌තු වෙළෙ¹ම යි. ඉන් පුරාවස්‌තු වෙළෙ¹ම ජයටම සිදුවෙන මේ රට ආසියාවේ ආශ්චර්යය වත්දොa යි නිරෝධ ට සිතේ.

එහෙයින් රුවන්මැලි මහා සෑය, ඡේතවනාරාමය, අභයගිරිය, ආදී සිද්ධස්‌ථානත් කැණීම් කර රට සුත මුදිත කිරීමට බලධාරීන්ට දැන් ආශිර්වාද ලැබී තිබේ. නන්දා මාලිනියගේ මේ ගීය ඒ සඳහා ද ඉඟියක්‌ සපය යි.

දළදා මැඳුර අධිකව

මිල කළ හැකිය...

සිරිමා බෝධියේ

ලංසුව පැහැදිලිය

කළුගල්වලට විකුණාගෙන

සීගිරිය...

සීගිරි කුරුටු ගී බයිලා

කළ හැකිය...

නිරෝධ
watamadala-2012 May17

No comments:

Post a Comment